දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව අධ්‍යයනයට කමිටුවක්

Picture of අසංක

අසංක

ආගමික සහ වාර්ගික පදනම් මත දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට ගත් තීරණයට සමගාමීව මේ වන විට එවැනි පදනම් ඇතිව ලියාපදිංචිකර ඇති පක්ෂ හදුනා ගනිමින් එම පක්ෂ සම්බන්ධයෙන්ද යම් තීරණයකට එළබීමට ජාතික මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මෙරට ලියාපදිංචිකර ඇති සියයකට වැඩි දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව අධ්‍යනය කිරීමට කමිටුවක් පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කමිටුව අප්‍රේල් මාසයේ පත්කරන බවද නිමල් පුංචිහේවා මහතා කීය.

දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා සම්බන්ධයෙන් එම කමිටුව විසින් අධ්‍යනයක් කර ඒ සම්බන්ධයෙන් කොමිසන් සභාවට වාර්තාවක් ලබාදෙනු ඇති බව නිමල් පුංචිහේවා මහතා සදහන් කළේය.

කමිටුව මගින් ලබාදෙන වාර්තාවට අනුව යම් දේශපාලන පක්ෂයක නාමයේ හෝ පක්ෂ ව්‍යවස්ථාවේ ආගමික සහ වාර්ගික පදනමක් ඇතැයි පෙනී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ පක්‍ෂ දැනුවත් කර සංශෝධනයන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේය.

දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවන්හි ආගමික හෝ වාර්ගික වශයෙන් වන වගන්ති ඇතුළත් වන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.