ස්විස් පැන්න නිශාන්ත සිල්වා  ඇතුළු පොලීසියේ 3ක්  වහාම අත්අඩංගුවට ගන්න නීතිපති දැනුම් දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
 ස්ට්සර්ලන්තයට පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් තිදෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ඊයේ  (06) දැනුම් දුන්නේය.
ඒ මිනිස් ඝාතන හා මංකොල්ලකෑම්වල නිරතව සිටි ඌව සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධකරුවකු  වූ ආමි සුරංග නැමැත්තාව 2006 වසරේදී සෙවනගල කෙසෙල් වගා බිමකදී ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙනි.
නිශාන්ත ද සිල්වා සමග ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක සහ පොලිස් කොස්තාපල් හේමකුමාර යන නිලධාරීන් දෙදෙනා එම ඝාතනයට අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම දැනුම් දෙන්නේ 2019 වසරේදීය. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතවූ ශානි අබේසේකර මහතා එම උපදෙසට අනුුව ක්‍රියාත්මක නොවී එම ඝාතනය සාධාරණ මිනිස් ඝාතනයක් බවට නීතිපති දෙපාර්තමේන්තුව සමග තර්ක කරමින් සිටියේය.
නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන්ට එරෙහිව පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් නීති කෘත්‍යක් ආරම්භ කිරීම සදහා පියවර ගන්නා ලෙසත් එහි මූලික පියවර ලෙස ඔවුුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා පොලිසියට ඉකුත් 2019 අගෝස්තු මාසයේදී මුලින්ම උපදෙස්දී තිබුණි.
එම නීති උපදෙස් අනුව පොලීසිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවතත් සිහිකැදවීමක් නොවැම්බර් මාසයේදී සිදුව තිබුණි. එහෙත් මෙතෙක් පොලීසිය නීතිපති උපදෙස් ක්‍රියාත්මක කර තිබුනේ නැති බැවින් නීතිපතිවරයා නැවත් ඊයේ ‍අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට ඒ බව දැනුම් දී තිබේ.
ඒ අනුව එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (6) සවස් වන විට පියවර ගෙන තිබුණි.
නිශාන්ත සිල්වා රටින් පළාගොස් ඇති බැවින් අධිකරණයට ඒ ගැන කරුණු වාර්තාකර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක් නිකුත් කර ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිිලධාරියෙක් සදහන් කළේය.