ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පැය ගණනාවක් තිස්සේ කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (8) සමථයකට පත්කිරීමට වෙරදැරූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළේ ගැටුම අධිකරණය දක්වා ගෙනයාමට වින්දිත පාර්ශ්වය පියවර ගෙන තිබේ.
කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ ප්‍රවීන නිරූපන ශිල්පිනී චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත ඊයේ නිදහස්කර තිබුණි.
ඔවුන් දෙදෙනා ඊයේ (08) පස්වරුවේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බවය.
2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමේ සිද්ධිය මීට මුල්විය.
කෙසේවෙතත් පොලීසියේ දී පුෂ්පිකා සිල්වා තමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ට පැවසුවද ඇය එය පිළි නොගැනීම නිසා අපකීර්තියට ලක් වූ තමා අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වීමට තීරණය කළ බව පුෂ්පිකා සිල්වා මාධ්‍ය වෙත පැවසුවාය.
ප්‍රසිද්ධියේ සමාව ගත නොහැකි බව කී කැරලයින් නිවසේ දී වීඩියෝවක් මගින් හෝ පෞද්ගලික ලිපියක් මගින් සමාව ගැනීමට සූදානම් බව පවසා ඇත.
පුෂ්පිකා සිල්වා ඊට අකමැති වීම හේතුවෙන් අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ.