මෙම වසරේ ගත වූ මාස හය තුළ ළමා අපයෝජන සිද්ධින්වලට අදාළ පැමිණිලි 5,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය අනාවරණය කර සිටී .
ඉකුත් වසරේදී ළමා අපයෝජන සිද්ධීන්ට අදාළ පැමිණිලි 8,000 ක් ලැබී තිබුණු අතර , මෙම වසරේ ගත වූ මාස 6 තුළ එවැනි පැමිණිලි 5,423 ක් වාර්තාවී ඇති බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා අප වෙබ් අඩවියට පැවසීය .
මෙම තත්වය බරපතල බවත් ඒ අනුව මෙය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය .
වර්තමානයේ සමාජයෙන් වාර්තා වන මෙවැනි සිදුවීම් පිළිබද අවධානය යොමු කරමින් මෙම කාලසීමාවේදී මව්පියන් දරුවන් පිළිබද පෙරට වඩා සැලකිලිමත් විය යුතු බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පැවසීය .
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා සිදුවන ළමා අපයෝජනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කල යුතුව ඇති බවද ඒ මහතා පැවසීය .
මෙවැනි අපයෝජනයන් පිලිබඳ කිසියම් හෝ තොරතුරක් ලැබුනහොත් වහා 1929 අංකයට දැනුම් දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය .