ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඊයේත් මෛත්‍රීගේ ගෙට වදී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, නිල නිවසට ඊයේ (21) සවස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයින් ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% ක් අමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට පැවරීම සම්බන්ධයෙන් බව වාර්තා වේ. මෙවන් සාකච්ඡාවක් පෙරේදා (20) දිනයේදීත් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් එම රැස්වීමට සහභාගිවී සිටි අතර යුගදනව් විදුලි බලාගාරයේ කොටස් 40% ක් අමෙරිකානු සමාගමට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විරෝධය දැක්වීමට එහිදී තීරණය වී තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ ඊයේ පැවැති සාකච්ඡාව එහි දිගුවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමති වාසුදේව නානයක්කාර , රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිවසට රැස්ව සිට ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් මෙම රැස්වීමේදී තීරණය කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

බොහෝ විට අගමැතිවරයා සමග එම සාකච්ඡාව අද (22) පැවැත්වීමට ඇති ඉඩකඩ බොහෝ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.