පැතුම් වික්‍රමරත්න/ දම්පත් රණසිංහ
ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ පැන්ඩෝරා පත්‍රිකා නමින් හෙළිකළ වත්කම් සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න ලෙස , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
මසක් ඇතුළත එහි වාර්තාව ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා සභාපතිවරයාට උපදෙස් දුන් බව ජනාධිපති ප්‍රකාශකවරයා පැවසී ය.
පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ පැන්ඩෝරා පත්‍රිකාවල රාජපක්ෂ පවුලට සම්බන්ධ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සහ ඇයගේ සැමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතාගේ නම් සඳහන්ව තිබූ අතර මෙය පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ දැනුම් දීමට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වහාම ක්‍රියාත්මක වෙමින් හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාට ලබන 08 වෙනිදා කොමිසමේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (06) දැනුම් දී තිබේ.
ඒ අනුව කොමිසන් සභාව ඊයේ දිනයේදීම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කරමින් ඒ බව විමර්ශන අංශයට දැනුම් දී ඇත. අනතුරුව කොමිසන් සභාවේ ලේකම්වරයා මගින් තිරුකුමාර් නඩේෂන් මහතාට ලබන 08 වෙනිදා අල්ලස් කොමිසමේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීම යොමුකර තිබුණි.