අයිසිස් නායකයා වසර 05 පසුව පැමිණ ශ්‍රී ලංකාවේ ප්‍රහාරය ගැන කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න /උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල කරන ලද ප්‍රහාරයන් සිය අවසන් බල කඳවුර වූ බගූස් බිඳ වැටීමේ පළිගැනීමක් බව ISIS නායක අබු බකර් අල්-බග්දාදි පවසයි.

අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත් කර ඇති ප්‍රථම අවස්තාව මෙය බවයි..

ඔහු මෙම වීඩියෝව පසුගිය 18වනදා රූගත කර ඇති බව වාර්තා වන අතර පසුව එම වීඩියෝවට හඬ පටයක් එක් කොට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකර ඇත.

ඉදිරියේදී තම ත්‍රස්ත සංවිධානය අතින් ගිලිහුණු ඉරාකය සහ සිරියාවේ භුමි ප්‍රදේශ තමන් සතුකර ගන්නා බවටද එම වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇති අතර තම සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවලට එරෙහිව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ

සිරියාව සහ ඉරාකයේ කොටසක් එකතු කරමින් නිර්මාණය කළ ඉස්ලාම් රාජ්‍යයේ මොසුල් නගරයේ සිට තම සිහින රාජ්‍ය වෙනුවෙන් මුල් පියවර තැබූ බග්දාදි, 2014 වසරින් පසුව යළිත් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීමද විශේෂත්වයකි.

එහිදී, ඔහු පවසන්නේ ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිය ගැනීම තම අරමුණ බව යැයි රොයිටර් පුවත් සේවය පවසයි.

මෙම වීඩියෝවෙන් පසුව ඔහුගේ රුව නොමැතිව හඬ පටයක් පමණක් පවතින අතර, එහිදීද ඔහු ශ්‍රී ලංකා ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරයි.

අවාද් ඊබ්‍රාහීම් අල්-බද්‍රි ඔහුගේ සැබෑ නම වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ හඬ පටයක් අවසන් වරට නිකුත් විය.

එමෙන්ම, ඔහු ප්‍රහාරයන්ගෙන් මියගිය බව කිහිප වරක්ම ඇමෙරිකාව පවසා සිටියත්, ඔහු වරින් වර හඬ තුළින් පමණක් මතුව තමා තවදුරටත් ජීවත්ව සිටින බව සනාථ කළේය.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව කවර දිනක පටිගත කරන ලද්දක් දැයි පැහැදිලි කර නැතත්, එය අප්‍රේල් මාසයේදී නිකුත් කෙරුණු එකක් බවත් එය වඩාත් තහවුරු කරගැනීමට ඇමෙරිකානු බුද්ධි අංශ ක්‍රියාකරමින් සිටින බවත් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.

මෙම වීඩියෝ පටය එම ත්‍රස්ත සංවිධානයේ අල්-ෆුර්ඛාන් මාධ්‍ය ජාලය හරහා නිකුත් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.