බ්‍රිතාන්‍යය , ඉන්දියාව , සංචාරක සීමා තවත් ලිහිල් කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් අවදානම අධික රටවල් ලෙස බ්‍රිතාන්‍ය බළධාරීන් විසින් නම්කර තිබූ රතු ලැයිස්තුවෙන් රටවල් රැසක් ඉවත් කර තිබෙනවා. මේ වනවිට අධි අවදානම් සහිත රතු ලැයිස්තුව රටවල් 07 කට සීමා වී තිබේ.

ඒ අනුව තවදුරටත් මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අවස්ථාව අහිමි වී ඇති රටවල් වන්නේ පැනමාව, කොලොම්බියාව, වෙනිසියුලාව, පේරු, ඉක්වදෝර්, හයිටි, ඩොමිනිකන් රිපබ්ලික් යන දකුණු ඇමරිකානු සහ කැරිබියානු කලාපයේ රටවල ජනතාවට පමණි.

මීට පෙර රටවල් 54 ක් රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ අතර ආසියානු, අප්‍රිකානු කලාපයේ රටවල් සියල්ල එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය ඔක්තෝබර් 11 වැනිදා සිට ක්‍රියාත්මක වේ. රතු ලැයිස්තුවෙන් ඉවත් කළ රටවල පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට නිරෝධායනය වීමෙන් තොරව මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අවස්ථාව හිමි වේ.

මේ අතර ඉන්දියාවද සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. වසරකට වැඩි කාලයක් තිස්සේ සංචාරයකයන්ට විවෘත නොවූ ඉන්දියාව ඔක්තෝබර් 15 වැනිදා සිට විවෘත වනු ඇත. කෙසේ නමුත් පළමු වටයේදී ඉන්දියාවට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ කුලී ගුවන් යානා මගින් පැමිණෙන සංචාරකයන් සඳහා පමණි.

නොවැම්බර් 15 වැනිදා සිට සාමාන්‍ය මගී ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයන්ටද ඉන්දියාවේ සංචාරය කිරීමේ අවස්ථාව හිමි වේ.