නෙට්ෆ්ලික්ස් (Netflix ) අන්තර්ජාල ස්ට්‍රීමින්ග් සේවාව ඔස්සේ මෙතෙක් ලොව වැඩිම පිරිසක් නැරඹු කථා මාලාව බවට පත්වීමට , කොරියානු කථා මාලාවක් වන Squid Game සමත්ව ඇත .
Squid Game කොරියානු රූපවාහිනී කතා මාලාව , එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgeton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ වාර්තාව අහිමි වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් නෙට්ෆ්ලික්ස් හි උප සභාපතිවරයකු වන මිනොන් කිම් පවසන්නේ මෙම නිර්මාණයේ සාර්ථකත්වය ‘සිහින’ වලින් ඔබ්බට ගිය” බවක්ය .
සමාජයේ සිටින විවිධ ආර්ථික අපහසුකම් හා අර්බුදවලට මුහුණ දෙන පිරිසක් ,අතිවිශාල මුදල් තෑග්ගක් දිනාගැනීමේ අරමුණින් , අපූරු ආකාරයේ ළමා ක්‍රීඩා මාලාවකට සහභාගී වීමක්, වටා ගොතා ඇති මෙම කතාව කොටස් නවයකින් යුතු අතර, සැප්තැම්බර් මාසයේදී එහි විකාශ කටයුතු ආරම්භ වී තිබේ.
මෙම කතාමාලාව ලොව පුරා අතිශය ජනප්රියවී ඇතුවා පමණක් නොව එහි නළු නිළියන් පවා මේ වනවිට ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත, උදාහරණයක් ලෙස මෙහි Sae-byeok ලෙස රඟපාන Jung Ho-yeon, සැප්තැම්බර් 17 ආරම්භ කළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට අනුගාමිකයින් මිලියන 14 ක් සිටින බව ‘ෆෝබ්ස්’ සඟරාව පවසයි.
මෙම කොරියානු කතා මාලාව ලොව පුරා මෙතරම්ම ජනප්‍රිය වීමට හේතුව කුමක්ද ?
මේ පිළිබඳව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ප්‍රවීණ සමාජ මාධ්‍ය නිර්මානශිල්පියෙකුද වන නාලක තලගල මහතා අප වෙත පැවසුවේ මෙවන් අදහසකි ,

“මෙම කතාමාලාව පුරාම ත්‍රාසය හා කුතුහලය පිරී තිබෙනවා , සරලව කිව්වොත් මෙහි සෑම රූපරාමුවකම කුතුහලය කැටිවෙලා තිබෙනවා . මේ කතාමාලාවේ සාර්ථකත්වයට එය ප්රබලවම බලපාලා තිබෙනවා .
එසේම මෙහි තිරකතාව ඉතා ප්‍රබලයි . මිනිසා තුල පවතින විවිධාකාර මනෝභාවයන් , ආශාවන් , හැගීම් මෙම තිරකතාව හරහා ඉතා සියුම් ලෙස විදහා දක්වනවා . මෙම කතාව තුල සිටින චරිත, අපට බොහෝ සමීප ලෙස හැඟෙන්නේද එම නිසයි .
මේ චරිත බොහොමයක් අපට සමාජයේ මුණ ගැහෙන පොදු චරිත වීමද විශේෂත්වයක් .කොරියාවේ නිර්මාණයක් වුවද , මෙහි එන චරිතවල ගත ගුණ සහිත මිනිසුන් ලංකාවෙත් ඉන්නවා . ඉන්දියාවේත් ඉන්නවා , යුරෝපෙත් ඉන්නවා,,, ලෝකේ පුරාම එවැනි චරිත අපට හමුවනවා…. එම සුවිශේෂී ගුණයත් මෙම කතාමාලාව මෙතරම්ම ජනප්රියවීමට බලපා තිබෙනවා .”

මේ පිළිබඳව අප වෙත තවදුරටත් අදහස් දැක්වූ කොරියානු සිනමා හා ටෙලිනාට්‍යය රසිකාවියක මෙන්ම මාධ්‍යවේදිනියකද වන පවනි ගමගේ පැවසුවේ මෙවැන්නකි ,
” Squid Game බලනකොට ඒක බොරුවක් විදියටවත් , මනඃකල්පිත නිර්මාණයක් කියල හිතෙන්නේ නැහැ , ඒ තරම් තාත්විකව ඒක නිර්මාණය කරලා තියෙනවා . බොරුවක් වුනත් අත්තක් විදියට අපට ඒත්තු ගන්වන්න එහි නිර්මාණකරුවන් දක්ෂ වෙලා තිබෙනවා .
බොහෝ කොරියානු නාට්‍යයවල පෙන්වන විදිහට කොරියාව පෙනෙන්නේ ඉතා ධනවත් රටක් විදිහට නමුත් මේ නාට්‍යයෙන් ඒ රටේ අපි නොදකින පැත්තක් පෙන්වනවා. එයත් විශේෂ කරුණක් .
ඒ වගේම මතුපිටින් ත්‍රාසය , කුතුහලය , වැනි දේවල් පෙනෙන්නට තිබුනත් , යටි පෙළ ඉතා ගැඹුරුයි . ඒ තුල ආසියානු දර්ශනවාද , මතවාද , ආගමික සංකල්ප ආදිය ගැබ්වී තිබෙනවා . සැබෑ සතුට යනු කුමක්ද යන්න ගැන මෙහිදී ප්‍රශ්න කෙරෙනවා , සතුට සැමවිටම මුදල් මතම තීරණය නොවන බවත් මෙම නිර්මාණය තුලින් අප වෙත ඒත්තු ගන්වනවා .
මට මෙම නිර්මාණය බලන විට නිතැතින්ම සිතට ආවේ , පසුගිය කාලයේ ලොව අතිශය ජනප්‍රියවූ , එසේම ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම්ලද , තවත් කොරියානු නිර්මාණයක් වන පැරසයිට් නම් චිත්‍රපටයයි . එම සිනමා නිර්මාණයේ යටි පෙලද Squid Game හී යටි පෙලට තරමක් සමානයි , එහිදීද ඇති නැති පරතරය පිළිබඳව මෙන්ම , සැබෑ සතුට යනු කුමක්ද යන්න ගැන පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කෙරෙනවා .
ඇත්තෙන්ම පවනි සඳහන් කල ලෙසම Squid Game , බැලූ බැල්මට ත්‍රාසය භීතිය , පිරි , ජනප්‍රිය රැල්ලේ නිර්මාණයක් ලෙස පෙනුනද , එහි යටි පෙළ අතිශය ගැඹුරුය , දාර්ශනිකය . කොටින්ම කිවහොත් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම , ” ආනන්දයෙන් ප්‍රඥාව” කරා අප ගෙනයන නිර්මාණයකි , එවන් නිර්මාණයක් නෙට්ෆ්ලික්ස් වැනි නවීන ඩිජිටල් ලෝකයට අයත් මාධ්‍යයක , ලොව ජනප්‍රියතම නිර්මාණය වී තිබීමම අතිශය සුවිශේෂී කරුණකි . සුභවාදී පෙරනිමිත්තකි .