රට පුරා රෝහල්වලට අලුත් ගිලන් රථ සහ කැබ් රථ 60ක්

Picture of අසංක

අසංක

දිවයින පුරා රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහා නවීන ගිලන් රථ 25ක් හා කැබ් රථ 38ක් ලබාදීම ඊයේ(17) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

මෙම එක් කැබ් රථයක මිල රුපියල් ලක්ෂ 110 ක් පමණ වේ.

මුදල් අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් නවීන ගිලන් රථ 25ක්ද අද සිට මෙරට සෞඛ්‍ය සේවාවට එක් කරනු ලබන අතර, එහි එක් ගිලන් රථයක මිල රුපියල් ලක්ෂ 150 ක් පමණ වේ.

මෙම ගිලන් රථ දුෂ්කර ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල රෝහල් සදහා ලබාදෙනු ලැබී ය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙම ගිලන් රථ සහ කැබ් රථ සඳහා වන යතුරු හා ලිපි ගොනු භාරදීම සිදු වූ අතර අනතුරුව අදාළ වාහන ඒ ඒ රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ලබා දෙනු ලැබීය.

ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Devolopment Bank) සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) මුල්‍ය දායකත්වය යටතේ මෙම කැබ් රථ ලබාදීම සිදු විය.

මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඇතුලු කණ්ඩායමක් ද එක්ව සිටියහ.