තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දියාව සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආහාර සහ ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමක් වශයෙන් එම මූල්‍ය ආධාරය ලබාදීමට ඉන්දියාව සූදානම් වන බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
ඒ අනුව මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට මෙන්ම හුවමාරු මාර්ග සහ ණය ලබාදීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
ඉන්දියාව මේවනවිටත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 9 ක ණය මුදලක් ලබාදී ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා ද ඉන්දියාව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ප්‍රදානය කර තිබෙනවා.