එස්.එස්.පී ගෙ තර්ජනයට ගාල්ලෙ එච්.කිව් අයි රෝහලේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

හදිසි තත්ත්වයත් සමග රට පුරා සේවය කරන පොලිස් නිලධාරින් වෙනුවෙන් ඉකුත් 08 වැනිදා සිට නිකුත් කෙරෙන අතුරුපස දීමනාව ( සිසිල් පැන් හෝ කුඩා ආහාරයක් ලබාදීම ) ගාල්ල කොට්ඨාශයේ සේවය රන නිලධාරින් වෙනුවෙන් පමණක් ලබා නොදීම සම්බන්ධයෙන් දුර දිග ගිය වාග් සංග්‍රාමයක් හේතුවෙන් රෝගී වු ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අද (14)  කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියෝගයක් අනුව ක්‍රියාත්මක මෙම අතුරුපස දීමේ ක්‍රියාවලිය දිගු කාලයක් එක දිගට සේවය කිරීම වෙනුවෙන් පිරිනමා තිබේ.

නමුත් අදලා අතුරුපස ගාල්ල කොට්ඨාශයට පමණක් නොලැබීම ගැන කොස්තාපල්වරයෙක් ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාට සැල කර ඇත.

එහිදී මෙම තත්ත්වය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් තදින් විමසා තිබේ. ඊට හේතු වී ඇත්තේ මෙම අතුරුපස දීමේ ක්‍රියාවලිය බොළද වැඩක් ලෙස සලකා මග හැර ඇත්දැයි විමසමිනි.

මේ ප්‍රශ්න කිරීම සමග උරණ වු අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වහාම ඇමතුමක් ගෙන පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාටය. ඊට හේතු වී ඇත්තේ ඔහු ඊට පෙර මෙම අතුරුපස දීමනාව ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් විමසා තිබීමය.

මෙම තත්ත්වය නිසා අධික රුධිර පීඩනය වැඩිවු මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කරාපිටිය රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත්වී තිබේ.