19න් පහල පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග ආරම්භ කිරීම දින නියමක් නොමැතිව කල්දැමීමට පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී ඊයේ (20) පෙරවරුවේ පැවැති එම සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.  

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරයත් සමග උද්ගත වූ තත්ත්වය හමුවේ දෙවැනි වටයේ තරග ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර මේ මස 31 වැනිදා තරග ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් ආරම්භ කිරීම ප්‍රමාදවීමෙන් පුහුණුවීම් කිරීමට නොහැකි වීම නිසා තරගාවලිය කල්දැමිය යුතු බවට අද පැවැති විධායක කමිටු රැස්වීමේදී සාමාජිකයන්ගෙන් වැඩි පිරිසක් අදහස් දක්වා තිබේ. ඒ අනුව එම යෝජනාවට ඒකමතිකව අනුමැතිය හිමිව තිබේ.

පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා පැවසුවේ පාසල්වල සහ රටේ ඉදිරි තත්ත්වය පිළිඳව අවදානය යොමුකර සැප්තැම්බර් මස තරග ආරම්භ කිරීමට අදහසක් ඇති බවත් එය ද ස්ථිර නොමැති බවත්ය.