ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි ඊයේ පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි.
රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේය.
එහිදී රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත යුතු පියවර මෙන්ම විවිධ ක්ෂේත්‍රවලදී ව්‍යාපාරිකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් මෙවර අය වැයේදී අවධානය යොමු කරන ලෙස ද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් ඉදිරිපත් කළ මෙම අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු කරන බවත් ඉදිරියේදී එම එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහි දී පැවසීය.
මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ද මෙහි දී පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක් විය.