ලොවපුරා කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයේ උදාවුණි.
නත්තලේ ලොව ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වු පාප් වහන්සේ, මෙසේ පැවසීය ,
“අද රාත්‍රියේ, අපගේ හදවත් තිබෙන්නේ බෙත්ලෙහෙමේ. අදත් යුද ගැටුම් හේතුවෙන් මේ ලෝකයේ ඉඩක් සොයාගත නොහැකිව ඔහු ප්‍රතික්ෂේප වෙලා. ඔබ ඔබේම හදවත දෙස බලන්නේ නම්, ඔබේ දුර්වලතා සහ සමාව දිය නොහැකි මේ ලෝකය පිළිබඳව සිතන්නේ නම් ඔබට මේ නත්තල සැමරීම අපහසු විය හැකියි. සිදුවන සියල්ල අයහපත් බව ඔබට සිතේවි. නමුත් අද රාත්‍රීයේ ඉතිහාසය වෙනස් කරන්නේ ප්‍රේමය යි. ලෝක බලයට වඩා ප්‍රේමයේ බලය බලවත් බව අපි සිතමු…”
කෙසේ වුව ද ලොව පුරා කිතුණු බැතිමතුන් මෙලෙස නත්තල සමරද්දී ජේසු බිළිඳාගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් සිදුවන්නේ නැහැ.
ඊට හේතුව වී ඇත්තේ මේ වනවිට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නොනැවතී පවතින යුද්ධයයි.
දිගින්දිගටම ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් අත්හිටුවීමට පලස්තීනය තීරණය කර තිබේ.
මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම් නොපැවැත්වෙන්නේ පළමු වතාවටයි.
වෙනදා නත්තල් සැදෑවේ නත්තල් සිරියෙන් විචිත්‍රවත් වන බෙත්ලෙහෙම මෙවර පාළු ස්වභාවයක් ගෙන තිබුණි.