ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් පකිස්ථාන යුධ හමුදාපති හමුවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා, ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර යන නිලධාරීන් ද එක් වූහ.

තවද, ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථානයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය Ahad Khan Cheema මැතිතුමා සමඟ ද කෙටි සාකච්ඡාවක්  පැවැත්වීය.

අසල්වැසි රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම මෙම සාකච්ඡාවන්හිදී අවධාරණය කළ අතර කලාපීය සාමය, ආරක්‍ෂාව සහ වෙළඳ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ එහි කැපවීම තහවුරු කිරීම සඳහා වන දායකත්වය ද යලිත් තහවුරු කරන ලදි.