IMF අවසන් වටය තීරණාත්මකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දෙමින් සිටින බවත්, එම අභියෝගයන්හි බලපෑම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවසන් සාකච්ඡා පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් වාර්තා වේ.

යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය 2027 දී අවසන් වීම සහ අමෙරිකාව විසින් පනවා ඇති “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ වන තීරු බද්ද මෙම අභියෝගයන්ය.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය 2027 වසරේදී අවසන් වීමට නියමිත අතර, එය මෙරට අපනයන ආර්ථිකයට සෘජුවම බලපානු ඇත. ඊට අමතරව, අමෙරිකාව විසින් “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බද්ද ද මෙරට ආර්ථිකයට සැලකිය යුතු අවදානමක් ගෙන එයි. ආරම්භයේදී 44% ක තීරු බද්දක් යෝජනා වී තිබුණද, ශ්‍රී ලංකාවේ හොඳ හිත පදනම් කරගත් සාකච්ඡා හේතුවෙන් එය පසුගිය 12 වැනිදා 30% දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. කෙසේ වෙතත්, මෙම තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වේ.

ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් මෙරට ආර්ථිකයේ බාහිර අංශයට, විශේෂයෙන්ම වෙළෙඳාමට සැලකිය යුතු අවදානමක් පවතින බව IMF හි ස්ථාවරය වී ඇත. කෙසේ වෙතත්, මෙම අවදානමේ බරපතළකම තීරණය කිරීම සඳහා අමෙරිකාව සමඟ පැවැත්වෙන සාකච්ඡා අවසන් වී තීරු බද්ද සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන තෙක් IMF බලා සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තීරු බද්ද හේතුවෙන් මෙරට වෙළෙඳ කටයුතුවලට, රැකියා අහිමි වීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන්ට බලපෑමක් එල්ල විය හැකි අතර, මෙරටට ලැබිය යුතු ආදායමක් ද අහිමි වී යා හැකි බව වාර්තා වේ.

අමෙරිකානු තීරු බද්ද මෙරට ආර්ථික පුරෝකථනයන්ට මෙන්ම ඇඟලුම්, තේ, රබර්, පොල් වැනි ප්‍රධාන අපනයන කර්මාන්තයන්ට ද සැලකිය යුතු අවදානමක් එල්ල කිරීමට ඉඩ ඇත. මෙම කර්මාන්තයන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමට ප්‍රධාන දායකත්වයක් සපයන අතර, ඒවාට සිදුවන ඕනෑම බලපෑමක් සමස්ත ආර්ථිකයටම බලපානු ඇත.

ශ්‍රී ලංකාව සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය අතර පැවැත්වෙන සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය මෙම ආර්ථික අවිනිශ්චිතතාවයන් විසඳීමට ඉතා වැදගත් වනු ඇත. මෙම සාකච්ඡා සාර්ථකව අවසන් වී තීරු බද්ද සම්බන්ධයෙන් සුබවාදී තීරණයකට එළඹීමට හැකි වුවහොත්, මෙරට ආර්ථිකයට මුහුණ දීමට සිදුවන අවදානම අවම කර ගැනීමට හැකි වනු ඇත