ශ්‍රී ලංකාවට BYD වාහන ආනයනයේදී බදු සම්බන්ධයෙන් පරස්පරතාවක් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
අලුත්ම තත්ත්වයේ BYD වාහන මෙරටට ගෙන්වීමේදී බදු අඩුවෙන් අය කර නිදහස් කිරීමේ ජාවාරමක් සිදු කර ඇත්දැයි බරපතල සැකයක් ඇතැයි හෙතෙම පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
“රටට එනවා BYD කියලා බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ BYD කියන වාහන ගෙන්වන ආයතනය ගෙන්වනවා ATTO 3 කියලා වාහනයක්. ඒකෙ කිලෝවොට් 100යි කියලා තමයි ගෙන්වන වාහනයේ සඳහන් වෙන්නේ. ඒ බ්‍රෑන්ඩ් නිව් කිලෝවොට් 100 වාහනයට ලක්ෂ 55ක් බදු ගහනවා. ඊළඟට BYD ATTO 3 යූස්ඩ් වාහනය එනවා. ඒ යූස්ඩ් වාහනයට ලක්ෂ 100ක් බදු ගහනවා.

නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය තමයි ඒ යූස්ඩ් වාහනය කිලෝවොට් 150 යි කියලා තමයි ලියාපදිංචි වෙන්නෙ. එතකොට කිලෝවොට් 100 කියලා ලියාපදිංචි වෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය. ඒ බ්‍රෑන්ඩ් නිව් වාහනයට ලක්ෂ 55ක් බදු ගැහුවාම අර පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100ක් බදු ගැහුවාම ලක්ෂ 45ක හිඟයක් තියෙනවා බදුවල.
අපි දන්නෙ නෑ ඒ වාහන ගෙන්වන ප්‍රධාන සමාගමට ආණ්ඩුවත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙනවාද කියලා අර කන්ටේනර් එළියට ගියා වගේ මේකත් මේ අඩුවෙන් බදු ගහලා එළියට දානවද කියලා.
මොකද BYD වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි බැලුවාම ඒකෙ BYD ATTO 3 වාහනය කියලා තියෙන්නෙ කිලෝවොට් 150 යි. කිලෝවොට් 100ක වාහනයක් නෑ. නමුත් වරායෙන් පිටකරනවා බ්‍රෑන්ඩ් නිව් වාහනය කිලෝවොට් 100 යි කියලා, ලක්ෂ 55යි බදු ගහන්නෙ. රීකන්ඩිෂන් වාහනය කිලෝවොට් 150යි, ලක්ෂ 100ක් බදු ගහනවා. ඉතින් කොහොමද එහෙම වෙන්නෙ ? එහෙම වෙන්න විදියක් නෑ”