මන්නාරම නගරයේ ඉදිකිරීමට අපේක්ෂිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ (සැප්තැම්බර් 26 වැනිදා) රාත්‍රියේ පොලිස් ආරක්ෂාව යටතේ මන්නාරම නගරයට රැගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරුද්ධව විරෝධතා පැවැත්වූහ.
විරෝධතාවයට එක්වු ජනතාව සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලමින් විරෝධතාවේ නිරත විය.
පොලිස් කැරලි මර්දන කණ්ඩායම් යොදවාගෙන මන්නාරම නගරය වෙතට සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ සහිත වාහන රැගෙන විත් ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.
මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම් නවත්වන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් (සැප්තැම්බර් 26 වැනිදා) මන්නාරම නගර මධ්‍යයේ විරෝධතාවල නිරත වූහ.
විරෝධතාවය අතරතුර පොලිසිය ද එම ස්ථානයට මැදිහත් විය. එහිදී පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇතැයි විරෝධතාකරුවන් පැවසීය.
පොලිසිය පැවසූවේ මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීමේ උපකරණ රැගෙන එන අවස්ථාවේ පිරිසක් විරෝධය දැක්වූ අතර පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කළ බවයි.පොලිසිය කිසිම අවස්ථාවක සිවිල් වැසියන්ට පහරදීමක් නොකළ බව මන්නාරම පොලිසිය සඳහන් කළේය.
මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත මන්නාරම සුළං බලාගාරයේ දෙවන ව්‍යාපෘතියට අදාළව සුළං ටර්බයින රැගෙන යන වාහන ගමනාගමනය නවත්වා ප්‍රදේශ වාසීහු (අගෝස්තු 11 වන දා) සිට විරෝධතාවයක නිරතව සිටිති.
විරෝධතාවට එක්වූවන් පැවසුවේ, මන්නාරම නගරය තුළ සුළං විදුලි බලාගාර ඉදිකිරීම නැවැත්විය යුතු බව ය.
සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මන්නාරම නගරය තුළ ස්ථාපනය කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ බව බව ද ඔවුහු පැවසූහ.
සුළං ටර්බයින් හා සුළං බලාගාර වෙත රැගෙන යන ටර්බයින් දැති රෝද මේ දිනවල ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම නගරය වෙත රැගෙන එමින් ඇතැයි ප්‍රදේශ වාසීහු සඳහන් කළහ.
ජනතා විරෝධතා හමුවේ සුළං ටර්බයින් රැගෙන ගිය වාහන මන්නාරම ප්‍රධාන පාලම අසළ නවතා දැමීමට වාහන රියැදුරන්ට සිදුවූ අතර, අදාළ භාණ්ඩවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය යොදවා තිබේ.
ප්‍රදේශවාසීන් විරෝධය දක්වන්නේ ඇයි?
මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් පැවසූවේ වර්තමානයේදී මන්නාරම දූපත ගැටලු රැසකට මුහුණ පා ඇති බව ය. මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඉල්මනයිට් ඛනිජ වැලි කැණීමට හා මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වි ඇති බව ඔහු සඳහන් කළේය.
“මන්නාරම සුළං බලාගාර දෙවන ව්‍යාපෘතිය සඳහා මේ දිනවල රාත්‍රී කාලයේ ටර්බයින් හා ටර්බයිනවලට සවි කරන දැති ගේනවා. දැන් මේ දෙවැනි සුළං බලාගාර වැඩසටහන ආරම්භ කරමින් තිබෙන්නේ.”
“ආරම්භ කරලා තිබෙන පළමු සුළං බලාගාර වැඩසටහන හින්දා ප්‍රදේශයේ ජනතාව ගැටලු රැසකට මුහුණ දීලා තිබෙනවා. දැන් දෙවැනි වැඩසටහනත් ආරම්භ කළොත් මන්නාරම ජනතාවට තවත් ගැටලු රැසකට මුහුණ දෙන්න වෙයි,” ඔහු සඳහන් කළේ ය.
“දැන් ඇති. කරලා තිබෙන සුළං බලාගාර වැඩසටහන හින්දා වැසි සමයේ අප ජලය මුහුදට ගලාගෙන ගිය ඇළ මාර්ග සියල්ල වහලා තිබෙන්නේ. ඒ හින්දා වැසි කාලයට ජලය ගලාගෙන යන්න ක්‍රමයක් නෑ. වැසි ජලය ගලාගෙන යන්න තැනක් නැති හින්දා වැස්සට එකතු වෙන වතුර ඔක්කෝම ගම්වල රැඳිලා තිබෙනවා. ඒ හින්දා වැහි කාලයේ ජල ගැලීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා.”
“ඒත් එක්කම මේ සුළං බලාගාර හින්දා සංචාරක කුරුල්ලන්ට මන්නාරම දූපතට පැමිණීමේදී ගැටලු ඇති වෙලා තිබෙනවා. කුරුල්ලන් පැමිණීමේ මාර්ග අවහිර කරලා තමයි සුළං බලාගාර හදලා තිබෙන්නේ. ඒ හින්දා සංචාරක කර්මාන්තයටත් බලපෑම් එල්ල වෙලා තිබෙනවා.”
“කුරුල්ලෝ එන කාලයට දූපතට එන සංචාරකයෝ කුරුල්ලන් නැති නිසා දැන් එන්නේ නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. මේ වාගේ ගැටලු රැසක් දැනට තිබෙන සුළං බලාගාර හින්දා ඇති වෙලා තිබෙනවා. තවත් සුළං බලාගාරයක් හැදුවොත් මේ ප්‍රශ්න දෙගුණ වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඒ හින්දා නැවත සුළං බලාගාර වැඩසටහනක් මන්නාරම දූපතට ඕනේ නෑ,” යනුවෙන් මාර්කස් සඳහන් කළේ ය.
සුළං බලාගාර ඉදිකරන්නේ කොහේ ද?
සුළං බලාගාර ව්‍යාපෘති ඉදිකිරීම සම්බන්ධයෙන් මන්නාරම සිවිල් කමිටු ක්‍රියාකාරි ඒ.පී.එෆ්. රෝජන් මෙලෙස අදහස් දැක්වීය.
“මන්නාරම දිස්ත්‍රික්කයේ මේ වන විට සුළං බලාගාර ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්න පිඹුරුපත් සකස් කරලා තිබෙනවා කියලා තමයි අපි දන්නේ.”
“අලුතෙන් ම මන්නාරම තාරාපුරම් ඉඳලා තාල්පාඩු දක්වා වෙරළ සීමාවේ සුළං ටර්බයින් හතරක් හදන්න තමයි ඔය ටර්බයින් උපකරණ මේ දවස්වල ගේන්නේ.”
“ඒ වගේ ම මන්නාරම කොන්තෙයිකුඩිඉරිප්ප හා පේසාලෙයි ප්‍රදේශයේ තවත් සුළං බලාගාර ව්‍යාපෘති දෙකක් කරන්න පස් පරීක්ෂා කිරීමක් කරලා තිබෙනවා.ඒ වගේම තවත් බහු ජාතික සාමාගම් කිහිපයක් මන්නාරම දූපතේ සුළං බලාගාර හදන්න යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා කියලා ආරංචියි.”
“මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මන්නාරම දූපතේ සුළං බලාගාර නැවත ඇති කරන්නේ නෑ කියලා.ඒත් මේ යන විදිය දැක්කාම අපිට හරි කණගාටුවක් ඇති වෙනවා ආණ්ඩුවේ ක්‍රියාවලිය ගැන.”
“දැන් මේ සුළං බලාගාර ඇති වුණොත් ඉදිරියේදී මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට ගැටලු රැසක් ඇති වෙයි කියන බයට තමයි අපි මේ අඛණ්ඩව දින 09 ක් විරෝධතා පවත්වමින් මේ ව්‍යාපෘති නතර කරන්න කියලා ඉල්ලීම් කරන්නේ.”
මන්නාරම නගරය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලා ප්‍රදේශ වාසීන්ගෙන් විරෝධතා
මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුවන අනවසර ඛනිජ වැලි කැණීමේ ජාවාරම් නතර කරන ලෙසට හා මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පාරම්පරික ඉඩම් අහිමි වීමට විරුද්ධත්වය පළ කරමින් මන්නාරම නගරයේ අගෝස්තු 05 වන දා සහ අගෝස්තු 06 වන දා ද විරෝධතා පැවැත්විණි.
එහිදී, මන්නාරම තරුණ සංවිධානය හා දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධානවල එකමුතුවෙන් විරෝධතා වැඩසටහන් සංවිධානය කර තිබිණ.
විරෝධතා සඳහා එක්වූ පිරිස් පැවසුවේ, විවිධ බහු ජාතික සමාගම් මන්නාරම දූපත තුළ ඉල්මනයිට් ඇතුළු ඛනිජ සම්පත් කැණීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව ය.
ඒ තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ පාරම්පරික ජනතාවගේ ඉඩම් අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ද විරෝධතාකරුවෝ පවසති.
මන්නාරම දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පතක් වන ඉහළ වටිනාකමින් යුතු ඉල්මනයිට් කැණීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු බහු ජාතික සමාගමක් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බැවින් ඊට විරෝධය පළ කරන බව විරෝධතාවට එක්වූ පිරිස් පැවසූහ.
‘ධීවර කර්මාන්තය කර ගන්න බැරි තත්ත්වයක් උදාවෙනවා’
මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් පැවසුවේ, වර්තමානයේදී මන්නාරම දූපත ගැටලු රැසකට මුහුණ පා ඇති බව ය.
මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඉල්මනයිට් ඛණිජ වැලි කැණීමට හා මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු පැවසුවේ ය.
“මන්නාරම වෙරළ සීමාව තුළ ඛණිජ වැලි කැණීම ආරම්භ කළහොත් ධීවර කර්මාන්තයෙන් ජීවත් වන දිස්ත්‍රික්කයේ ජනතාවට සිය ධීවර කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනවා. වෙරළ කැණීම හරහා මන්නාරම දූපත ආශ්‍රිත මත්ස්‍ය සම්පත විනාශ වී ගොස් ජනතාවට ධීවර කර්මාන්තය සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මේ නිසා ඇති වෙනවා,” ඔහු පැහැදිළි කළේ ය.
ඛණීජ වැලි කැණීම තුළින් ස්වාභාවික වෙරළ තීරය විනාශ වී ගොස් මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් අහිමිවීමේ අවදානමක් මතු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
