කාන්තාවන් සියයකට පිරිමි අනූතුනයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත අනුව මෙරට කාන්තාවන් 100කට සිටින පුරුෂයන් සංඛ්‍යාව 93.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර පැවැසුවාය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2024) පවත්වන ලද ජනගහන හා නිවාස සංගණනයේ මූලික තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා කොළඹදී

ඊයේ (30 වැනිදා) පැවැති වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

සෑම කාන්තාවන් 100 දෙනකුටම සිටින පිරිමින් සංඛ්‍යාව ‘‘පුමිතිරි අනුපාතය’’ (ස්ත්‍රි පුරුෂ අනුපාතය) නමින් හඳුන්වන බවද අධ්‍යක්ෂකවරිය කියා සිටියාය. ඉකුත් 2012 වසරේ ජනගහන හා නිවාස සංගණනයේ දත්ත අනුව පුමිතිරි අනුපාතය (කාන්තාවන් 100 කට සිටින පිරිමින් සංඛ්‍යාව) 93.8ක් වූ අතර, මෙවර සංගණනයේදී එම අනුපාතය 93.3 ක් දක්වා අඩුවී තිබේ.

ඒ අනුව, 2012 වසරේ සංගණනයේ සිට 2024 වසරේ සංගණනය දක්වා පුමිතිරි අනුපාත ප්‍රතිශත ඒකක සියයට 0.5ක අඩුවීමක් පෙන්නුම් කරන බව ද අධ්‍යක්ෂවරිය කියා සිටියාය. 2024 සංගණනයට අනුව, පුමිතිරි අනුපාතය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම 100කට අඩු අගයක් පෙන්නුම් කරන්නේය.

මෙවර සංගණනයේදී වැඩිම පුමිතිරි අනුපාතයක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරන අතර, අඩුම අනුපාතයක් පෙන්නුම් කරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එය ප්‍රතිශතයක් ලෙස 88.0 කි. 2012 වසරේ සංගණනයේදී මාතලේ, ගාල්ල, මාතර, යාපනය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පුමිතිරි අනුපාතය වැඩි අගයක් පෙන්නුම් කළේය. පුමිතිරි අනුපාතය සමාජ හා ආර්ථික අංශ කෙරෙහි සහ දිගු කාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන සාධකයක් බවද ඇය පැවැසුවාය.