සංචාරක පනත සංශෝධනයට පියවර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීම සඳහා මෙරට සංචාරක පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා දිගු කාලීන සැලැස්මක්, ඉලක්කයක් මෙම රජයට පවතින බවය.

එමෙන්ම සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා සියලු ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත් ඒ සඳහා ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් එහිදී ඔහු පැවසුවේය.

එම ජාතික සංචාරක කොමිසම හරහා දිස්ත්‍රික් මට්ටමින් හා සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ සංචාරක කමිටු ගොඩ නැගීමට සැලසුම් කරන අතර ඊට ඉලක්ක කරගත් නව නීතියක් ගෙන එන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සඳහා දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ සංචාරක පනත සංශෝධනය කරන අතර ඒ සඳහා විශේෂඥයින් කණ්ඩායමකට භාර දී ඇති බවය.

මේ අතර ඒ අනුව 2025 ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝබර් 29 වනදා දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ඇත.

ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ පමණක් මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 153,063කි.

එමෙන්ම ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමඟ ගුවන් මගීන් 378 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

පෝලන්තයේ ”එන්ටර් එයාර්” ගුවන් සේවයේ යානා 2ක් ඊයේ මෙරටට පැමිණියේ එරට ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිටය.

ඉන් පළමු යානය ඊයේ පෙරවරු 9.50ට පෝලන්තයේ කටෝවිස් (Katowice) ගුවන් තොටුපොළේ සිට කටුනායක දක්වා පැමිණි යානය ජල ආචාරවලින් පිළිගනු ලැබීය.

”එන්ටර් එයාර්” ගුවන් සේවයට අයත් දෙවන යානය ඊයේ දහවල් 11.00ට පෝලන්තයේ වෝර්සෝ නුවර (Warsaw) සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේය.

ගුවන්තොටුපොළ වාර්තා පැවසුවේ, මෙම ගුවන් යානා දෙකෙන් ගුවන් මගීන් 378 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු මෙරටට පැමිණි බවය.