බ්‍රිතාන්‍යය දුන් තීරු බදු සහනයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනවාරි මස පළමු දින සිට බලාත්මක වන පරිදි, එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන නිමි ඇඳුම් සඳහා තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් එක්සත් රාජධානිය ක්‍රියාත්මක කරන වෙළඳ වැඩසටහන (DCTS) යටතේ ගෙන එන ලද ප්‍රතිසංස්කරණ මාලාවක කොටසක් ලෙස මෙම තීරණය ක්‍රියාත්මක වන බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

ලෝක වෙළඳපොළ වෙත නව ප්‍රවේශයක්

මෙම නව ප්‍රතිපත්තිය යටතේ, ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට පෙර නොතිබූ අවස්ථාවන් රැසක් විවෘත වී ඇත. නිමි ඇඳුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයෙන් 100%ක්ම ලෝකයේ ඕනෑම රටකින් ලබාගෙන, එක්සත් රාජධානිය වෙත බදු රහිතව අපනයනය කිරීමට දැන් හැකියාව ලැබී ඇත.

කලින් ක්‍රියාත්මක වූ නීති රීති අනුව, ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාවලි දෙකක් අනිවාර්යයෙන් සිදු කළ යුතුව තිබුණි. නමුත් දැන් එම අවශ්‍යතා සැලකිය යුතු ලෙස අඩු කර තිබේ.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගේ ප්‍රකාශය

“වෙළඳ සහයෝගීතාව හරහා සංවර්ධන අවස්ථා නිර්මාණය කිරීමට එක්සත් රාජධානිය කැපවී සිටින බව මෙම ප්‍රතිසංස්කරණ තහවුරු කරනවා,” යනුවෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ප්‍රකාශ කළේය.

“වෙළඳපල ප්‍රවේශය පුළුල් කරමින් සහ අපනයන විවිධාංගීකරණයට සහාය දක්වමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය සඳහා අප දායක වන්නෙමු. අපනයන හැකියාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අභිලාෂය අපි හඳුනාගෙන ඇති අතර, මෙම වැඩසටහන උපරිම ලෙස යොදාගැනීමට අපනයනකරුවන් දිරිමත් කරනවා. DCTS හරහා ලැබෙන තීරු බදු සහනය කෙසේ උපයෝගී කරගත හැකිදැයි ගවේෂණය කරන ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

කර්මාන්තයේ ප්‍රතිචාරය

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සම්මේලනයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මෙම ප්‍රතිසංස්කරණ සාදරයෙන් පිළිගෙන ඇත.

“කලාපය තුළින් අමුද්‍රව්‍ය ලබාගත යුතුය යන කලින් පැනවූ සීමාකිරීම් ඉවත් කර තිබෙනවා. ගෝලීය සැපයුම් දාමවලට ප්‍රවේශ වීමේ අවස්ථාව දැන් ලැබී ඇති නිසා, ශ්‍රී ලාංකීය නිෂ්පාදකයින්ට සමාන තරඟ පිටියක් ලැබී තිබෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියට යවන අපනයනවලින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් වන්නේ ඇඟලුම්. මෙය මිලියනයකට ආසන්න ජනතාවකගේ ජීවනෝපායට සම්බන්ධ වන අතර, කඩිසර ව්‍යාපාරික වෙළඳපොළකට අපනයන හරවා යැවීමේ හැකියාව වැඩි කිරීම අතිශයින් වැදගත්. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන කැපී පෙනෙන ප්‍රගතියක් සාක්ෂාත් කරගැනීමට ගැනුම්කරුවන් සහ නිෂ්පාදකයන් සමඟ කටයුතු කිරීමට අපි උනන්දුවෙන් සිටිනවා.”

අපනයන සංවර්ධන මණ්ඩලයේ අදහස

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මෙසේ ප්‍රකාශ කළේය:

“මෙහි විශාලතම වාසිය හිමි වන්නේ අපේ ඇපරල් කර්මාන්තයට. දැනට අපනයනයෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඇඟලුම්. එක්සත් රාජධානිය දැන් දෙවන විශාලතම වෙළඳපොළ වී ඇත. තීරු බදු සියයට ශුන්‍ය දක්වා අඩු කිරීමත් සමඟ, වැඩි ප්‍රමාණයක් භාණ්ඩ එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වී තිබෙනවා.”

මෙම සහනය මගින් අපනයනය පුළුල් කිරීමට හැකි වන අතර, එහි වාසිය අපනයනකරුවන්ට සෘජුවම ලැබෙන බවද ඔහු පැවසීය.

විශේෂත්වයක් – කොන්දේසි රහිත සහනය

නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු විශේෂ කරුණක් පෙන්වා දුන්නේය.

“ඇඟලුම් පමණක් නොව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩවලින් 90%කට තීරු බදු සහ අනෙකුත් බදු රහිතව එක්සත් රාජධානියට අපනයනය කළ හැකියි. විශේෂයෙන් අපේ සම්ප්‍රදායික අපනයන භාණ්ඩ මෙන්ම කාර්මික අපනයන සියල්ලටම විශාල සහනයක් පළමුවන දින සිට ලැබී තිබෙනවා.”

මානව හිමිකම්, කම්කරු නීති හෝ පරිසර නීති වැනි අමතර කොන්දේසි රාමුවක් නොමැතිව මෙම බදු සහනය ලබා දීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.

වෙළඳපල විශ්ලේෂණය

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා දෙවන විශාලතම වෙළඳපොළයි. වාර්ෂිකව එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වේ. මෙරට ඇඟලුම් අපනයනයෙන් 15%ක් පමණ බ්‍රිතාන්‍යයට යොමු වේ.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඍජු සහ වක්‍ර ආකාරවලින් මිලියනයකට අධික ජනතාවකගේ ජීවනෝපායට සම්බන්ධ වී ඇත.

බ්‍රිතාන්‍යය සමඟ ව්‍යාපාරික සංගමය

බ්‍රිතාන්‍යය සමඟ ව්‍යාපාරික කටයුතු සඳහා වන සභාවේ සභාපති මාර්ක් සර්ජනර් මෙසේ අදහස් දැක්වීය:

“එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමේ විභවය පිළිබඳව අපි දැඩි උනන්දුවෙන් සිටිනවා. ඇඟලුම් කර්මාන්තයට මෙයින් සැලකිය යුතු වර්ධනයක් ලැබෙනවා. DCTS යටතේ 90%කට වඩා නිෂ්පාදන තීරු බදු රහිත කාණ්ඩයට ගෙන ඒම නිසා, කලාපීය රටවල් විශාල සංඛ්‍යාවකින් අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව නිර්මාණය වී ඇති හෙයින්, වෙනත් අංශද මෙම ප්‍රතිලාභ භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

ඉල්ලීම්වලට ප්‍රතිචාරයක්

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දුන් පරිදි, මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සහ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සම්මේලන ඇතුළු බොහෝ ව්‍යාපාර හා රටවල් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙනි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ඇඟලුම් අපනයනය සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

DCTS වැඩසටහන ගැන

2023 දී දියත් කළ DCTS යනු එක්සත් රාජධානියේ ප්‍රමුඛතම වරණීය වෙළඳ ප්‍රශ්ඨතා ක්‍රමය වන අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65ක් එයින් ආවරණය වේ.

මෙම වැඩසටහන නිෂ්පාදන දහස් ගණනක් සඳහා අඩු කළ හෝ ශුන්‍ය තීරු බදු සහන ලබා දෙන අතර, ලෝකයේ මෙවැනි වඩාත්ම ත්‍යාගශීලී යෝජනා ක්‍රමවලින් එකක් ලෙස සැලකේ. මෑතකාලීන ප්‍රතිසංස්කරණ මගින් මෙම දීමනාව තවදුරටත් පුළුල් වී ඇත.