සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය කිරීම අධෛර්ය කිරීමේ සැලසුමක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ලංකා විදුලි බල මණ්ඩලය විසින් සූර්ය බලාගාර හා කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මිල අඩු කිරීමත්, සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හිදී විදුලිය මිලදී නොගැනීමත් නිසා එම විදුලි බලාගාර ඉදිකිරීමට බැංකුවලින් ණය ලබාගත් 150,000ක් පමණ අසීරුතාවට පත්ව සිටිනි.

සූර්ය බලයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 37 සිට 27ක් දක්වා පසුගිය කාලයේ අඩු කළ අතර, එම ඒකකයක වර්තමාන මිල වන්නේ රුපියල් 17කි.

කුඩා ජල විදුලි බලාගාර සහ වහලය මත සවි කරන ලද සූර්ය පැනල සහ සූර්ය බලාගාර ඉදිකිරීමට වැයවන මුදලින් 70%කට ආසන්න ප්‍රමාණයක් බැංකු ණය වශයෙන් ලබා දෙයි.

ඒ අනුව මෙම ව්‍යාපෘති සඳහා 150,000ක් පමණ පිරිසකට බැංකු විසින් ණය ලබාදී ඇතැයි පැවසේ.

මෙලෙස බැංකු ණය ලබාගත් 360 දෙනකු පමණ සූර්ය බලාගාර පවත්වාගෙන යන අතර, ඔවුන්ටද විදුලි ඒකකයකට නිසි මිලක් නොලැබීම නිසා ණය ගෙවාගත නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති. සූර්ය බලයෙන් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය කෙරෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීමේදී රුපියල් මිලියන 350ක වැනි මුදලක් වැය වන බව එම බලාගාර හිමියෝ කියා සිටිති.

ජල විදුලිය මගින් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය කරන බලාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500ක පමණ මුදලක් වැය වේ .