ඉරාන උත්තරීතර නායකයාගෙන් හඬ පටයක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුද ගැටුම් මැද සැගවී සිටින ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනී මාධ්‍ය වෙත ලිඛිත පණිවුඩයක් නිකුත් කරමින් ඉරාක වැසියන්ට සිය ස්තුතිය පළ කර ඇත. ඒ, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ, ඉරාකයෙන් ඉරානයට ලැබෙන සහාය වෙනුවෙන් කෘතඥතාව පළ කරමිණි.

මොජ්තාබා කමේනීයනු හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනීගේ දෙවැනි පුත්‍රයාය. ඉකත් පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනී මරා දැමීමට ඊශ්‍රායලය සමත් විය. මොජ්තාබා කමේනී උත්තරීතර නායකයා බවට තෝරා ගැනීම සිදුවූයේ ඉන් පසුවය.

එම ගුවන් ප්‍රහාරයෙන් මොජ්තාබා කමේනී ද බරපතල ලෙස තුවාල ලැබූ බවත් ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බවත් පැවැසෙයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විටින් විට පවසන්නේ මොජ්තාබා කමේනී මියගොස් ඇති බවය.

බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසා ඇත්තේ බරපතල තුවාල ලැබූ මොජ්තාබා කමේනී රුසියාවට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙන බවත් ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කර ඇති බවත්ය. මොජ්තාබා කමේනී හඩ පට නිකුත් කර ඇති නමුත් ඔහු තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

ඉරාන පුවත් ඒජන්සියක් වන ඉස්නා වාර්තා කළේ, ඉරාකයේ ප්‍රබල ෂියා ආගමික නායක මහා අයතුල්ලා අලි සිස්තානි සහ ඉරාක ජනතාව ඉරානයට එරෙහි ආක්‍රමණයට එරෙහිව ගත් ස්ථාවරය අගයමින් මොජ්තාබා කමේනී මෙම පණිවුඩය යොමු කර ඇති බවය.

ඉරාකයේ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය සහ බැග්ඩෑඩ් අගනුවර ඉරාන තානාපතිවරයා අතර පැවති හමුවකින් අනතුරුව මෙම පණිවුඩය ප්‍රකාශයට පත් කෙරුණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලදී තම කණ්ඩායම එරට ඉහළ පෙළේ පුද්ගලයකු සමඟ ගනුදෙනු කරන නමුත්, ඔහු උත්තරීතර නායකයා නොවන බවය.

“ඉරානයේ නව නායකයාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඔහු ජීවතුන් අතර සිටිනවාදැයි කියන්න දන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානයේ පත් වූ තුන්වන උත්තරීතර නායකයා මොජ්තාබා කමේනී වෙයි.