සති ගණනක් තිස්සේ පැවති සටන්වලින් පසුව, එක්සත් ජනපද-ඉරාන සටන් විරාමය අර්බුදය පාලනය කිරීමට ඇති කැමැත්ත පෙන්නුම් කරන බවක් පෙනෙන්නට තිබුණු අතර ආරම්භයේ සිට ම එය සැලකිය යුතු අපැහැදිලිතා සමග බැඳී තිබේ.
එහි සඳහන් වන නියමයන් අර්ථකථනය කිරීමේදී ඇති වෙනස්කම්, භූගෝලීය විෂය පථය, ආවරණය වන ඉලක්ක වර්ග සහ “සටන් විරාම උල්ලංඝනය” යන්නෙහි අර්ථ දැක්වීම යනාදී හේතු නිසා ඇතැම් නිරීක්ෂකයෝ මෙම ගිවිසුම තිරසර සටන් විරාම රාමුවකට වඩා උපායශීලී විරාමයක් ලෙස හඳුන්වති.
ගැටුම ආරම්භ වූ පසු, එකඟතාවකට පැමිණීමට කිසිදු අවස්ථාවක් නොමැති බව වොෂින්ටනය පදනම් කර ගත් චින්තන පර්ශදයක් වන Foundation for Defense of Democracies ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන බෙහ්නාම් බෙන් තලෙබ්ලු පැවසීය.
“එක්සත් ජනපදය සහ ඉරානය වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් එකඟ වුණේ නැහැ, යුද්ධය එම වෙනස්කම් අඩු කර නොමැති අතර ඇත්ත වශයෙන් ම ඒවා තවත් නරක අතට හැරිලා තියෙනවා” යැයි ඔහු බීබීසී පර්සියානු සේවයට පැවසීය.
මේ අතර, දෙපාර්ශ්වයේ ම නිලධාරීන්ගේ පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන් තත්ත්වය තවත් අස්ථාවර වී තිබේ.
ඉස්ලාමීය ජනරජයේ නිලධාරීන් සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කිරීම ගැන කතා කරන අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ කැපවීම් පිළිබඳ වඩාත් සීමිත ලෙස අදහස් ඉදිරිපත් කර තිබේ.
මෙම අදහස් දැක්වීමේ ඇති වෙනස්කම් අවිශ්වාසය වැඩි කර ඇති අතර සටන් විරාමයේ කල්පැවැත්ම පිළිබඳව සැක පළ කර ඇත.
සාකච්ඡා සාර්ථක නොවන්නේ නම්, සටන් විරාමය කෙටි විරාමයක් පමණක් වන අතර එමගින් දෙපාර්ශවයට ම විවේක ගැනීමට සහ ඊළඟට සිදුවිය හැකි දේ සඳහා සූදානම් වීමට ඉඩ සැලසේ.
එක් පාර්ශ්වයක් වත්මන් තත්ත්වයෙන් සුළු ප්‍රතිලාභයක් ලබා ගන්නා බවත්, පීඩනයේ අර්ථවත් වැඩිවීමක් අවශ්‍ය බවත් නිගමනය කළහොත් මෙම අවස්ථාව වඩාත් පිළිගත හැකි වේ.
එවිට එක්සත් ජනපදය විකල්පයක් ලෙස විදුලි බලාගාර, පාලම් හෝ බලශක්ති පහසුකම් වැනි වැදගත් යටිතල පහසුකම්වලට පහර දීම සලකා බැලිය හැකි ය.
මෙම ප්‍රහාර ශක්තිමත් කෙටි කාලීන පීඩනයක් ඇති කළ ද, ඒවා බරපතළ මානුෂීය සහ ආර්ථික හානියක් ඇති කළ හැකි හෙයින් ඉරානය ඊට වඩාත් දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට හේතු විය හැක.
ඒ සමග ම, සාකච්ඡා පිළිබඳව දැඩි සැකයකින් පසුවන පාර්ශවයක් ලෙස, ඊශ්‍රායලය බලගතු ක්‍රියාකාරිකයෙකු බවට පත්වීමට ඉඩ තිබේ.
“සාකච්ඡාවලට සම්බන්ධ පුද්ගලයින් ද ඇතුළුව ඉරාන වැසියන් ඝාතනය කිරීම වැනි ක්‍රියාමාර්ග ඊශ්‍රායලය සිදු කිරීමට ඉඩ ඇතැයි” ජාත්‍යන්තර සබඳතා පර්යේෂකයෙකු වන හමිඩ්රේසා අසීසි පැවසීය.
“කිසිදු පාර්ශවයක අදහස් විමසන්නේ නැතිව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරපු ප්‍රකාශය ගැටුමේ අවදානම වැඩි කරනවා,” ඔහු පැවසීය.
ගැටුම් ඇති වීමේ හැකියාව සම්පූර්ණයෙන් ම බැහැර කළ නොහැකි වුව ද, ඉහළ ආර්ථික පිරිවැයක් ඇති කළ හැකි පුළුල් කලාපීය ගැටුමක් සහ ගෝලීය ආර්ථික පීඩනය කෙටි කාලීනව අවම කිරීමට මෙය අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය.

