රාජ්‍ය බැංකු ලාභ ලබයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කළ බවත්, ලංකා බැංකුව වසර 87ක ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට සමත් වු බවත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභයක් 2025 වසරේ වාර්තා කර ඇති බවත් එම බැංකු සභාපතිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පෙන්වා දුන්හ.

මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (20) පස්වරුවේ පිළිගන්වමින් බැංකු සභාපතිවරු මේ බව ප්‍රකාශ කළහ.

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු අදාළ වාර්තා මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූහ.

මෙහිදී අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභය 2025 වසරේ වාර්තා කර තිබෙන බවයි. එම ලාභය බදු අය කිරීමට පෙර බිලියන 64.4ක් වන අතර බදු අය කිරීමෙන් පසු බිලියන 40ක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා පෙන්වා දුන්නේ වසර 87ක සිය ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේ ලබා ගැනීමට ලංකා බැංකුව සමත්වූ බවත් එය සියලු බදුවලට පෙර බිලියන 120.8ක ලාභයක් බවත්ය. බදු වශයෙන් බිලියන 77ක මුදලක් රජයට ගෙවා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59ක ඉහළම ලාභය 2025 වසරේ උපයා ඇති බවයි. එමෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට බිලියන 6ක් ලබා දී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රතිපත්තීන් සමඟ ඉතා සැලසුම් සහගතව සහ ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කිරිම හේතුවෙන් මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වු බව මෙහිදී පෙන්වා දුන් බැංකු ප්‍රධානීහු ඒ වෙනුවෙන් කාර්යමණ්ඩල වෙතින් ලැබුණු සුවිශේෂී සහායද සිහිපත් කර සිටියහ. කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ සහ අදාළ බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.