පවත්නා ඉන්ධන සහනාධාර ක්‍රමය එළඹෙන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි කාලයේදී මෙරට තෙල් මිල නැවත වරක් ඉහළ යනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව මෙම තත්ත්වය උදාවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
කොළඹ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අදාළ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල් බිලියන 57ක මුදලක් වෙන්කර තිබූ බව පැවසූ ඒ මහතා, දේශපාලන පක්ෂ විසින් සිදුකරන මිල ගණන් සැසඳීම් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වීය.
තමා අමාත්‍යවරයාව සිටි සමයේ ඩීසල් මිල තීරණය කිරීම සඳහා ‘සිංගප්පූරු ප්ලැට්ස්’ දර්ශකය පදනම් කරගත් බව සිහිපත් කළ ඒ මහතා, එකල ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් අන්තර්ජාලය ඔස්සේ සිංගප්පූරුවේ සාමාන්‍ය ඩීසල් මිල පමණක් සොයා බලමින් තමා අසත්‍ය පවසන බවට චෝදනා කළ බවද සිහිපත් කළේය .
වත්මන් වෙළෙඳපොළ තත්ත්වය අනුව අදාළ දර්ශකය පහළ යමින් පැවතියද, මෙරට ඩීසල් මිල රුපියල් 281ක් විය යුතු පසුබිමක අනුර කුමාර දිසානායක ගේ පාලනය යටතේ එය රුපියල් 403ක් වැනි ඉහළ මට්ටමක පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
“වත්මන් මිල ඉහළ යාමට හේතුව ලෝක වෙළෙඳපොළේ අර්බුදයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ යුක්‍රේන යුද්ධය ඇවිළී ගිය මොහොතේ බ්‍රෙන්ට් කෲඩ් ඔයිල් බැරලයක මිල ඩොලර් 139ක් දක්වා ඉහළ ගියත් දේශීය වෙළෙඳපොළේ තෙල් මිල වැඩි කළේ නැහැ. හැබැයි අද බැරලයක මිල ඩොලර් 93ක් වැනි අඩු මට්ටමක තියෙද්දිත් මිල ඉහළ දමනවා.” යැයිද හෙතෙම පැවසීය .
මහින්ද රාජපක්ෂ මහතාගේ යුද සමයේදී පවා රට තුළ මෙවැනි ඉන්ධන හිඟයක් ඇති නොවූ බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, අද වන විට ඩීසල්, පෙට්‍රල් වගේම ගල්අඟුරු සම්බන්ධයෙන් පවා අර්බුද නිර්මාණය වී තිබෙන්නේ කිසියම් ජාවාරමක ප්‍රතිඵලයක් නිසා බවට ද චෝදනා කළේය.
එසේම රාජ්‍ය පරිපාලනය මෙහෙයවීම සඳහා අවශ්‍ය බුද්ධිමය පරිණතභාවයක් වත්මන් පාලකයින්ට නොමැති බවත්, ඔවුන් සතුව ඇත්තේ උද්ධච්චකමක් පමණක් බවත් ඒ මහතා පැවසීය.
සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ ප්‍රතිචාර පළ කරමින් සහ සාවද්‍ය මත ප්‍රචාරය කරමින් තමන් සාර්ථක බව පෙන්වීමට රජය උත්සාහ කළ ද, එම ව්‍යාජ ප්‍රතිරූපය දැන් බිඳ වැටෙමින් පවතින බව විදේශ අමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී දැකගත හැකි වූ හිස් අසුන්වලින් මනාව සනාථ වන බව ද ඔහු කීය.
විදේශයන්හි විශාල ජනප්‍රියත්වයක් මවාපාමින් පිම්බූ ‘මාලිමාවේ’ බැලුම, දැන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද හුළං බහිමින් පවතින බවද හෙතෙම පැවසීය .

