ශ්‍රී ලංකාවේ පිහිටි බොහෝ බන්ධනාගාරවල අනුමත ධාරිතාවයට සාපේක්ෂව ඊට කිහිප ගුණයක් වැඩි රැඳවියන් සංඛ්‍යාවක් සිටි බව නවතම දත්ත වාර්තාවලින් නැවත වරක් තහවුරු වී ඇත .
2024 වසරේ ජනවාරි 15 දිනට වන එම දත්ත සහ මෙම නව දත්ත සසඳා බැලූ විට පෙනී යන කරුණක් වන්නේ ඒවායින් සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කරන්නේ බන්ධනාගාර ගතව සිටින පිරිසේ පමණක් වීමයි.
බොහෝ බන්ධනාගාරවල එම වසර දෙකක කාලය තුළ ධාරිතාව කිසිදු ආකාරයකින් වෙනස් වී නොමැත.
2024 ජනවාරි වන විට බන්ධනාගාරවල රැඳවිය හැකි ධාරිතාව 10,312ක් වන අතර, එතැන් සිට මේ වන විට වසර දෙකක් සහ මාස 6කට වැඩි කාලයක් ගතවී තිබේ.
මේ වන විට එම ධාරිතාව වර්ධනය වී ඇත්තේ 10,801ක් දක්වා පමණි.
කෙසේ නමුත් 2024 ජනවාරි වන විට රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව 31,000ක් පමණ වූ අතර වර්තමානය වන විට එම සංඛ්‍යාව 10,000කින් පමණ එනම් 41,000ක් දක්වා පමණ ඉහළ ගොස් තිබේ.
මෙරට ඉහලම තදබදයක් සහිත බන්ධනාගාරයක්වන වැලිකඩ බන්ධනාගාරයේ ,සිරකරුවන් 839ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති නමුත් එහි මේ වනවිට සිරකරුවන් 3,400ක් සිටිති. එසේම 328ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිට තිබේ.
ජූලි 05 සහ 06 දෙදින නොසන්සුන්තාවය ඇතිවූ මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සංඛ්‍යාව 496ක් වන නමුත් මෙම ගැටුමට පෙර දිනයේ එහි රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව 2,403කි. එනම් ධාරිතාවය මෙන් පස් ගුණයකට ආසන්න සංඛ්‍යාවකි.

