ලෙබනන් ජනතාව වීදි බැස ඇමතිවරු 4ක් ගෙදර යවති

Picture of අසංක

අසංක

බදු ඉහළ දැමීම හා දේශපාලන වංචා දූෂණවලට එරෙහිව ලෙබනනයේ මුළු ජනගහනයෙන් 17%ක් තෙදිනක් තිස්සේ මහමගට බැස විරෝධය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස එරට කැබිනට් ඇමතිවරු 4 දෙනෙක් ඉල්ලා අස්වී තිබේ.

ලෙබනනයේ මුළුමහත් දේශපාලන පද්ධතියටම එරෙහිව ජනතාව අතරින් මේ විරෝධතා සංවිධානය වූයේ ජීවන බර ඉසිලිය නොහැකි පසුබිමක දීය.

ඉල්ලා අස්වුණේ ලෙබනනයේ අගමැතිට සහය දක්වන ක්‍රිස්තියානි හමුදා පක්ෂයේ ඇමතිවරුන් ය.

ලෙබනනයේ රාජ්‍ය ණය බර ඩොලර් බිලියන 86කි. එනම් එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 150%කි.

“මතුවූ තත්වය බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයට නොහැකි බව අපට විශ්වාසයි ”යැයි පක්ෂ නායක සමීර් ගගේයා පැවසීය.

“ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය රැකගැනීමට අප අසමත් වුණා” යැයි ඉල්ලා අස්වූ තවත් අමාත්‍යවරයෙක් වන කැමිලෙ අබුස්ලෙයිමාන් කියාසිටියි.

තෙදිනක් පුරා ලෙබනනයේ පැවැති විරෝධතාවට මිලියන 12ක පමණ ජනතාවක් සහභාගි වී ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් සිටියි.