ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ ලෝකේෂ් රාහුල් (45) සහ ශිකර් ධවාන් (32) පන්දු 55 කින් ලකුණු 71 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ. වනිඳු හසරංග, ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 30 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් විය. ඉන්දීය තණතීරු පිළිබඳව වැඩිම දැනුමත් ඇති පන්දු යවන්නා වන නායක ලසිත් මාලිංග යැවූ ඕවර හතරට ඉන්දීය පිතිකරුවෝ 41 ක් රැස්කිරීමට සමත් වූහ. ජස්ප්‍රීට් බුම්රා ක්‍රියාත්මක කළ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දු තුනට වනිඳු හසරංග ගැසූ හතරේ පහර තුනත් සමඟ ශ්‍රී ලංකා පිලට ලකුණු 142 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. කුසල් පෙරේරා පන්දු 28 කින් හයේ පහර තුනක් සමගින් ලකුණු 34 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසුව ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැළකෙන ධනුෂ්ක ගුණතිලක පන්දු 21 කින් ලකුණු 20 ක් පමණක් රැස්කළේය.
අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 16 කින් ලකුණු 22 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. අවිෂ්කගේ ඉනිම අලංකාර හතරේ පහර පහකින් වර්ණවත්විය. අවිෂ්ක සහ ධනුෂ්ක අතර පන්දු 29 කින් ලකුණු 38 ක සම්බන්ධතාවක් ගොඩනැගුණි. මෙම තරගාවලියට සහභාගිවී සිටින සංචිතයට ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව සිටිය ද මෙම තරගයේදී ද කණ්ඩායමේ ස්ථානයක් හිමිනොවීය. ඉන්දීය නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලබන සිකුරාදා (10 වැනිදා) පූනේහිදී පැවැත්වේ.