විශේෂාංග


Share now!

(වෘත්තීය බැදීම අනුව නවක වදය පිටු දැකීමට බැදී සිටිමි. මේ සටහන හුදෙක් නවක වදය සම්බන්ධ අත්දැකීම් හා පෞද්ගලික ආකල්ප හෙළී කිරීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න.)

නවක වදය යනු කුමක් ද?

නවක වදය යනු ජ්‍යෙෂ්ඨයන් විසින් නවකයන් විවිධ අයුරින් හිංසනයට පත් කිරීමයි. බැණවැදීම, සරදම් කිරීම, උසුළු විසුළු සහගත වූ මෝඩ ක්‍රියාවල යෙදවීම, කායික හා මානසික හිංසනවලට ලක් කිරීම, ලිංගික අතවර සිදු කිරීම ආදිය මෙහි දී සිදු වේ. මේවා සාමාන්‍ය අවස්ථාවල දී පුද්ගලයකු සිදු නොකරන ආකාරයේ ක්‍රියා ය. පාසල්, උසස් අධ්‍යාපන ආයතන, වැඩබිම් ආදියේ විවිධ මට්ටම්වලින් නවක වදය පවතින අවස්ථා ඇති අතර වඩාත් දරුණු මට්ටමක පවතින්නේ සරසවි, උසස් අධ්‍යාපන ආයතන ආදියේ සිදු වන නවක වදයයි. මෙහි දී සාකච්ඡා වන්නේ සරසවි නවක වදය පිළිබදව යි. සරසවි නවක වදය අතින් ලංකාව ලෝකයේ ඉහළ ම තැනක පවතින රටක් බවට වාර්තා පළ වේ. නවක වදය අතීත ග්‍රීක ක්‍රීඩා සමාජ වෙතින් ආරම්භ වූ ප්‍රවණතාවක් බව පැවසේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයනවල නවක වදය ව්‍යාප්ත වන්නේ නිදහස ලැබීමෙන් පසු කාලයේ බව පෙනේ. ඇතැම් කාලවල නවක වදය දේශපාලනික කාරණයක් වශයෙන් වඩාත් ව්‍යාප්ත වූ තත්ත්වයක් දක්නට ලැබේ. හුදෙක් වද දීමෙන් එහාට ගිය සාධක සමහරක් ද නවක වදය යනුවෙන් හැදින්වෙන ක්‍රියාවලිය තුළ පවතින තත්ත්වයක් ද පෙනේ. නවක වද ක්‍රියාවලියේ දී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන්නේ දෙවන වසරේ සිසුන් ය. තෙවන වසර සිසුහු ද විවින් විට එම ක්‍රියාවලිය අධීක්ෂණය කරති. එනම් හොදින් රැග් වෙලා තිබේ දැයි සොයා බලති. මෙම නවක වද ක්‍රියාවලිය විශ්වවිද්‍යාල උපසංස්කෘතියට හා පද්ධතියට අනුව ජ්‍යෙෂ්ඨයන් වෙත පැවරෙන වගකීමකි.

නවක වදය වදයක් ද?

වදයකි. එහෙත් නවක වදය පැවැත්වෙන මට්ටම හා නවකයන් එය දරා ගන්නා ආකාරය අනුව එය විනෝදයක් වන අවස්ථා ද ඇත. ශිෂ්‍ය ජීවිත අහිමි වීම්, කායික ආබාධ, මානසික සංකූලතා, සරසවි දිවියට සමුදීම වැනි තත්ත්ව ද නවක වදය නිසා ඇති ව ඇතත් ඇතැම් නවක ශිෂ්‍යයන් කැමැත්තෙන් ඊට මුහුණ දෙන අවස්ථා දැක ඇත්තෙමි. ඊළග වසරේ දී නවක වදය ඉදිරියට රැගෙන යාමට ඔවුහු සැදී පැහැදී සිටිති. අපගේ නිරීක්ෂණ අනුව නවක වදය හිංසාවක් ලෙස සලකන බොහෝ දෙනා මධ්‍යම පාන්තික හා ඉහළ පාන්තික විද්‍යාර්ථීහු ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිදහසේ උපාධිය ලබා ගෙන පිටව යාමට ය. එහෙත් පහළ හා ගම්බද සමාජ නියෝජනය කරමින් පැමිණෙන අය අතුරින් සැලකිය යුතු පිරිසක් නවක වදය ආස්වාදය කරති.

නවක වදය ලෙස සිදු වන්නේ කුමක් ද?

ඒ ඒ කාල අනුවත්, ඒ ඒ විශ්වවිද්‍යාල අනුවත් නවක වදයේ පැවතීම විවිධ වේ. බොහෝ විට නවක වදයට අදාළ දේ සිදු වන්නේ සාමූහික, සැලසුම් සහගත ක්‍රියාවලියක් වශයෙනි. අදාළ දිනයේ සිදු කළ යුතු අංග පිළිබද පෙරදින රාත්‍රියේ සාමූහික රැස්වීමක් මගින් දැනුවත් කෙරේ. ඇතැම් සරසවිවල එම කාර්යයේ පෙරමුණ ගන්නා තැනැත්තා හැදින්වෙන්නේ රැග් රෙපා යනුවෙනි. මෙම රැස්වීමට සහභාගී නොවන අයට පසු දිනයේ රැග් කිරීම තහනම් වන අතර නවකයන්ගෙන් නම ගම ඇසීමට පමණක් අවස්ථාව හිමි වේ.

නවක වදයේ අංග

ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, රුහුණ, සෞන්දර්ය කලා, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි ඇතුළු ආයතන ගණනාවක ශිෂ්‍යයෙකු ආචාර්යවරයකු, නිරීක්ෂකයෙකු වශයෙන් අත්දැකීම් ලබා ඇත්තෙමි. වසර හතරකට වැඩි කාලයක් සරසවියේ නේවාසිකාගාරයේ ජීවත් වීම නවක වදය ගැන මට කතා කරන්නට ඇති විශේෂ ම සුදුසුකම වශයෙන් සලකමි.

2002-2007 කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදය පැවති ආකාරය මෙසේ ය. පළමු දින කිරිබත් කන්න දී, බීම බොන්නට දී නවකයන් පිළිගන්නා ජ්‍යෙෂ්ඨයෝ පයිල් කවරයක් ද තිලිණ කරති. එහෙත් එදින ඇති සහනසීලී ස්වභාවය දෙවන දිනය වන විට නැති ව යයි. උදේ 7.00 වන විට කොමන් එකට හෙවත් පොදු රැස්වීමට ආ යාතු ය. එය පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ය. එයට පැමිණෙන විට සෝරත ප්‍රතිමාවට හා සුමංගල ප්‍රතිමාවට හැම පැත්තකින් ම වැද ආ යුතු ය. අත්කොට කමීසය, දිග කලිසම, රබර් සෙරෙප්පු දෙක නවක පිරිමි ළමුන්ගේ ඇදුම වන අතර රැවුල, කොණ්ඩය හොදින් කපා තිබිය යුතු ය. ගැහැණු ළමුන්ට දිග චීත්ත ගවුම ය. කොමන් එකේ දී උදා ගී ගැයීමත්, ජ්‍යෙෂ්ඨයන්ගේ දේශන අසා සිටීමටත් සිදු වේ. දේශනවලට යාමට තහනමක් නැතත් දේශන නැති සෑම අවස්ථාවක දීම කොමන් එකේ සිටිය යුතු ය. උපසංස්කෘතියට අයත් දේ, කැන්ටින් ගණන, හොස්ටල් ගණන, විශ්වවිද්‍යාල ඉතිහාසය, එහි නිලධාරීන්ගේ නම් ආදිය පාඩම් දිය යුතු ය. ඇතැම් විට නවකයන් කණ්ඩායම් කිහිපයකට බෙදා ගීත, නැටුම් ආදි සෞන්දර්යයාත්මක අංගවලත් විසුළු ජවනිකාවලත් යොදවනු ලැබේ. පළමු දිනයේ ජ්‍යෙෂ්ඨයන් ලබා දෙන පයිල් කවරය හැම විටකම ළග තිබිය යුතු අතර එය ද නවකයන් හදුනා ගැනෙන සංකේතයක් වේ. ඇත්ත වශයෙන් ම කොමන් එකේ ගැහැණු – පිරිමි දෙපිරිසට ම පොදුවේ ලබා දෙන මෙම සුළු නවක වදය එතරම් ම හිංසාකාරී නොවූ බවත් සිහිපත් කර සතුටු වියහැකි දේ ද එහි ඇති බවත් කිව යුතු ය. දවල් කාලයේ දී කෑම ගත යුතු වන්නේ සාමූහිකව ය. ඇතැම් විට සයිඩ් කණ්ණාඩියෙන් බලාගෙන රිවස් එකේ ගොස් කැන්ටිමෙන් පෝළිමට කෑම ගැනීමට නියම කෙරේ. කෑම හොද නැති බව කියා උද්ඝෝෂණ කෙරෙන අවස්ථා ද ඇත. ‘දියව්… දියව්… කෑම දියව්… සත පනහට කෑම දියව්…. බඩ පිරෙන්න කෑම දියව්… මාතර අක්කට එන්න කියාපිය… මේවට උත්තර දෙන්න කියාපිය….. යනාදි වශයෙන් කෑගැසිය යුතු ය. බිත්තර බාගෙ දෙන්නේ කිකළිගෙ ….කට බ්ලේඩ් හයි කරලා දැයි විරෝධය පළ කිරීමට නියම කෙරේ. මේ අතර වාරයේ පරිපාලනයේ කිසියම් වැරැද්දක් දක්වමින් කෑම පැය තුළ උද්ඝෝෂණ ද සිදු කෙරේ. ඇත්ත වශයෙන් ම මේවායෙන් සිදු කෙරෙන්නේ සිසුන් තුළ උද්ඝෝෂණ හැකියා ඇති කරවීම ය. නවකයෝ ද මේවාට කැමැත්තෙන් සහභාගී වෙති. මේ අතරවාරයේ ගීගැයීම්, චිත්‍ර ඇදීම්, පෝස්ටර් ඇදීම්, නිවේදන, රංගන ආදි කුසලතා ඇති අය පිළිබද විවිධ අයුරින් තොරතුරු එකතු කෙරෙයි. ඔවුන් වෙනුවෙන් ගී පැදුරු, වීදි නාට්‍ය වැඩසටහන් ආදිය ද සූදානම් කෙරේ. නවක වදය අතර තුර බොහෝ විශ්වවිද්‍යාලවල දැවැන්ත ප්‍රමාණයේ කලා, සංස්කෘතික කටයුතු සිදු කෙරේ. කැට ව්‍යාපාර මගින් මුදල් එක් කිරීම් ආදිය ද නියම කෙරේ. ඒවා බලහත්කාරයෙන් සිදු කෙරෙන නමුත් ඇතැම් විට නවකයන් පවා සහභාගී වන්නේ ඒ පිළිබද හැගීමෙනි. නිදර්ශනයක් ලෙස වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය උත්සවය, පිළිකාරෝහලේ ශ්‍රමදානය, අවුරුදු උත්සව ආදිය දැක්විය හැකි ය. ඒවා සදහා ජ්‍යෙෂ්ඨයෝද කැමැත්තෙන් සහභාගී වෙති. ජීවිතයේ එදා මෙදා තුර විද ඇති වද වේදනා සිහි කරන විට පොදුවේ ලබා දුන් නවක වදය එතරම් හිංසාවක් නොවූ බව කියනු කැමැත්තෙමි. ඒ සමස්ත ක්‍රියාවලිය තුළ ම හිංසාවට පත් වූයේ කිහිප වරක් පමණි. හදිසියේ නුගේගොඩ මොඩන් සමාගමෙන් පොතක් මිලදී ගැනීමට තිබිණ. එය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කියාවලියට අත්‍යවශ්‍ය වූවකි. එහෙත් විශ්වවිද්‍යාලයට අවශ්‍ය පොත් සරසවි පොත්හලෙන් ම ගත හැකි බව කියූ ජ්‍යෙෂ්ඨයෙක් එහි එය නැති බව පෙරළා පැවසූ අවස්ථාවේ දී තෝ පොරටෝක් කියන්න එනව ද හු…. ? මේකෙ පොරටෝක් පුළුවන් අපිට විතරයි. තොපිට බෑ…. යනුවෙන් ප්‍රසිද්ධියේ බැණවැදී මගේ ගමන වැළැක්වී ය. නවක වදය පැවැත්වුණු කාලයේ සති අන්තයේ ගෙදර යාමට බාධා ඇති නොවුණු නමුත් පුස්තකාලයට යාම හා ඉංග්‍රීසි වචන කතා කිරීම තහනම් කොට තිබිණ. නවක වදය කාලසීමාව තුළ නවකයන්ටත් ජ්‍යෙෂ්ඨයන්ටත් ප්‍රේම සම්බන්ධතා තහනම් ය. නවක වදයේ අවසන් දින සියලු නවකයන් වාඩි කරවා වතුර බෝතලයක් කිහිප වටයක් අතින් අත යැවෙනුයේ කට සෝදා ඊට දැමීමට දන්වමිනි. ටොපියක්, තැම්බූ බිත්තරයක් ද එසේ යැවෙන්නේ සූප්පු කර අනෙකාට ද ලබා දීමට ය. එයින් අන්‍යෝන්‍ය සහයෝගයක් ඇති වෙතැයි ඔවුහු කල්පනා කරති.

නේවාසිකාගාර තුළ ලබා දෙන උග්‍ර නවක වදය නම් අමානුෂික වද හිංසාවක් බව කිව යුතු ම ය. නිරුවත් කිරීම්, ලිංගික හිංසාකාරී තත්ත්ව ඇති කිරීම් ආදිය එහි දී සිදු වෙයි. රෑ නිදිවරාගෙන සිටිය යුතු වේ. කාලය ගත වීමත් සමග වද හිංසා දැඩි කෙරේ. කිහිප දෙනා බැගින් කාමරවලට කැදවා වද දීමත්, සාමූහික ව රැස් කරවා වද දීමත් එහි දී සිදු වේ. සෑම වදහිංසාවක් ම අවසන් වන්නේ තෙලක් හෙවත් සරසවිය, නිදහස් අධ්‍යාපනය ගැන යම් දේශනාවක් සහ ජෙෂෂ්ඨයන් සමග වෛරයක් ඇති නොවන විදිහේ සාකච්ඡාවකිනි. පාවාදීම් සිදු නොකළ යුතු බව දැඩි සේ අවධාරණය කෙරේ. මෙම නවකවදයේ දී ලබා දුන් ජුගුප්සිත වූ හිංසාවන් ගැන මෙහි දී කියනු අකමැත්තෙමි. එහෙත් අවශ්‍ය කෙනෙකුගේ අවබෝධය සදහා එකක් පමණක් කියමි. සාමූහික ව නිරුවත් කොට පෝළිමේ එක් එක් අය කැදවා ලාච්චුවක් තුළට ලිංගය දැමීමට නියම කෙරේ. අනතුරුව ලයිට් නිවා මහහඩින් ලාච්චුව වසා දැමේ. එහි දී වසා දැමෙන්නේ අදාළ ලාච්චුව නො ව පහළින් ඇති ලාච්චුවයි. එහෙත් පෝළිමේ ඊළගට පැමිණෙන අයට ත්‍රාසය, භීතිය ඇති වන සේ අදාළ කෙනා විලාප නැගිය යුතු ය. වැරදීමකින්වත් අදාළ ලාච්චුව වැසුවා නම් ටයරය හිසට වැටීමට නොදෙවෙනි හානියක් වන බව කිව යුතු නැත. මේකට කියන්නේ ලාච්චුවේ දැමීම කියා ය. බෝංචි කඩන ඒවා, අංජනම් බලන ඒවා, ධර්ම චක්කර තවත් බොහෝ දේ තිබේ. ඒවා සිහි කිරීමට තරම් පිරියක් නැත. මෙවැනි වද හිංසා දැනට තදබල ලෙස පවතින්නේ පිරිමි නේවාසිකාගාරවල පමණි. එහෙත් ඇතැම් කාලවල යෝනියේ ඉටිපන්දම් ගැසීම වැනි ලිංගික හිංසා ගැහැනු නේවාසිකාගාරවල ද සිදු වූ බව සදහන් වේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ සිට පෙර කී කාලවකවානුව තුළ බෝට්ටුවෙන් ජපුරට පැමිණි මිතුරකුගෙන් දැනගත් ආකාරයට රුහුණේ නේවාසිකාගාර නවක වදය පෙර කීවාට වඩා දැඩි ය. ශිෂ්‍යයන් ලවා ප්‍රසිද්ධියේ ස්වයං වින්දනයට ද බලකෙරී ඇත.

ඇතැම් සරසවිවල ශිෂ්‍යයන්ට හා ශිෂ්‍යාවන්ට යට ඇදුම් ඇදීම තහනම් කෙරෙන දවස් ඇත. එම දිනවල ඔවුන් පොදුවේ එක් තැනකට රැස් කර තෙරපවනු ලැබේ. ගැහැනු පිරිමි මාරුවෙන් මාරුවට පෝළිමේ තබවා දෙපසින් තල්ලු කිරීම රුහුණ සරසවියේ ද සිදු වූ බව දැන ගන්නට ලැබී තිබේ.

අප සරසවි අධ්‍යාපනය ලද කාලයේ ජයවර්ධනපුර සරසවියේ කොමන් එකේ කුණුහරුප කීම සිදු නොවූ නමුදු ඉන් පෙර කාලවල එවැනි දේ සිදු ව තිබේ. ශිෂ්‍යාවන් ලිංගයේ රෝමකූප ගණන කිව යුතු වේ. ඒවා අසන්නේ අසැබි වදන්වලිනි. කී දෙනෙක් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇත් දැයි කිව යුතු වේ. නැති බවක් කිව හොත් ශිෂ්‍යයකු කැදවා විවාහ කරවා දෙන බවත් දක්වා මදුසමයට යවා ඔහු සිදු කළ ලිංගික ක්‍රියා කවරේ දැයි අසැබි වදනින් ම ප්‍රසිද්ධියේ කිව යුතු වේ. මෙසේ අසැබි ලෙස බැණවැදීම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ද පවතින තත්ත්වයකි. 2012-2014 කාලවල කැලණිය විශ්වවිද්‍යාලයේ ද එවැනි තත්ත්වයක් දුටුවෙමි. ආචාර්යවරුන් යන මාර්ග දෙපස පවා ශිෂ්‍ය-ශිෂ්‍යාවන් රදවා ගෙන කුණුහරුපයෙන් බැණවදිනු ලැබිණ. එහෙත් ඇති වූ විවිධ ගැටලු නිසාත්, ශිෂ්‍යයන් පරිපාලනය සමග සුහද ව සාකච්ඡා කර මැද තැනකට පැමිණීම නිසාත් මේ වන විට එම තත්ත්වයන් වෙනස් වී තිබේ.

වැඩියෙන් ම රැග් පවතින්නේ භික්ෂු නේවාසිකාගාරවල බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. එහෙත් එය සත්‍යයකි. නිරුවත් කිරීම්, ලිංගික අඩන්තේට්ටම්, කුණුහරුප බණ කීමට නියම කිරීම ආදිය ඒ අතර වේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඒ පිළිබද ව කියා ඇති දේ මෙහි ලිවිය නොහැකි ය. නවක වද කාලයේ ශිෂ්‍ය භික්ෂූන් පෝළිමට රැගෙන යන්නේ ද ජ්‍යෙෂ්ඨයන් ය. ආචාර්යවරුන් සමග කතා කිරීම, තනිව ආචාර්යවරුන් හමු වීමට යාම ආදිය පවා තහනම් කොට ඇති බව දැන ගන්නට ලැබිණ. මේ මා කියන්නේ 2008 වසරේ පමණ තොරතුරු ය. දේශනශාලාවල ද ශිෂ්‍ය භික්ෂූන් සිටින්නේ බිම බලාගෙන ය. කිසිදු ප්‍රතිපෝෂණයක් නැත. දේශනශාලාව දුගදින් පිරී තිබේ. නවක වද කාලයේ දී ජලයෙන් පිරිසිදු වීම තහනම් බවත් වැසිකිළි යාමට පවා ලැබෙන්නේ එක් වතුර පනිට්ටුවක් බවත් දැන ගන්නට ලැබිණ. එහෙත් පසු කලෙක එම තත්ත්ව ද තරමක් දුරට පහ ව ගිය බව දැක ගන්නට තිබේ.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල නවක වදය නැත්තේ ඇයි?

ඒවාට යන්නේ යම් ආර්ථික මට්ටමක සිටින දෙමාපියන් ගේ දරුවන් ය. ඔවුන් ඉගෙන ගන්නේ දෙමාපියන් ගේ ධනයෙනි. ඔවුන්ට නිදහස් අධ්‍යාපනය වැනි ප්‍රස්තුතයන් එතරම් අදාළ නැත. ඔවුන් සියලු දෙනා තුළ ම ඇත්තේ සමාන්තර අපේක්ෂා ය. එනම් උපාධිය නිමා කර රැකියාවක් කිරීම ය. ඔවුන්ට රැකියාව සම්බන්ධයෙන් ද අවිනිශ්චිතතාවක් නැත. එහෙත් රජයේ විශ්වවිද්‍යාලවලට පැමිණෙන ශිෂ්‍යයන් විෂම සමාජවලට අයත් ය. ඔවුන්ගේ සරසවි අධ්‍යාපනයේත් සුබසාධන ආදියේත් යම් යම් ගැටලු පවතී. ඒවා විසදගැනීමටත්, නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටත් නවක වදය මගින් සිදුවන ශිෂ්‍ය ඒකරාශීකරණය වැදගත් බව ඔවුහු අදහස් කරති.

නවක වදයේ යහපත් පැත්තක් තිබේ ද?

වදදීම් යහපත් වන්නේ නැත. වැදගත් වන්නේ නිදහසට, සමානාත්මතාවට, යුක්තියට ඉඩක් ලබා දීම ය. ඒ නිසා ප්‍රතිපත්තියක් ලෙස නවක වදයට විරුද්ධ වෙමි.

එසේ ද වුවත් ඕනෑම අයහපත් දෙයක වුව ද හොද පැත්තක් ද තිබිය හැකි ය. ශිෂ්‍යයන්ගේ කලා හැකියා ආදිය හදුනා ගෙන වර්ධනය කිරීම, සමාජය වෙත අනුගත කරවීම, ජාතික ප්‍රශ්න හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වීම, ශිෂ්‍යයන්ගේ ආර්ථික ප්‍රශ්න ආදිය හදුනා ගෙන නේවාසිකාගාර නැති අයට එවැනි පහසුකම් සලසා දීම, විශ්වවිද්‍යාල සම්ප්‍රදාය හුරු කරවීම, සරසවිය තුළ එකිනෙකා අතර සබදතාව තහවුරු කිරීම, මානය බිදහෙළීම වැනි සාධනීය අංග සමහරක් ද ඇතැම් කාලවල නවක වදයට සමගාමී ව සිදු වූ බව දක්නට ලැබේ.

නවක වදයේ අයහපත් අංග මොනවා ද?

අතින් පයින් සිදුකරන පහර දීම්, විවිධ ද්‍රව්‍ය මගින් සිදුකරන පහරදීම් හෝ අන්තරාකාරී ක්‍රියාවන්ගෙන් සිදුවන ශාරීරික හානි, නිරුවත් කිරීම, ස්වයං වින්දනයට බල කිරීම හා අස්වාභාවික ලිංගික ක්‍රියාවන් මගින් සිදුවන ලිංගික අතවර, මානව හිමිකම් උල්ලංඝනය වීම, පාඨමාලා හැරයාම, භීතිය හා මානසික සංකූලතා ඇතිවීම, මත් ද්‍රව්‍ය හා දුම්බීමට බලහත්කාරයෙන් පෙළඹවීම, සැහැසි මානසිකත්වයන් ගොඩනැගීම, ආතතිය – මානසික අවපීඩනය – භීතිකා තත්ව, පෞර්ෂ දුර්වලතාවන් සහ කම්පන තත්ව වැනි මානසික ගැටලු ඇති වීම ආදිය නවක වදයේ අහිතකර තත්ත්ව වශයෙන් විද්වතුන් හදුනා ගෙන තිබේ. එසේ ම ශිෂ්‍යයන්ගේ විෂය තෝරා ගැනීම් ආදියේ දී මහා උගතුන් සේ පෙනී සිටිමින් ඔවුන්ට නොගැළපෙන විෂය සංකලන හදුන්වා දී ඔවුන් අපහසුතාවට පත් කිරීම වැනි තත්ත්ව ද දැක ඇත්තෙමි.

නවක වදය නතර කළ යුතු ද? එය නතර කළ හැක්කේ කෙසේ ද?

නවක වදය නතර කළ යුතු බව කාලයක සිට සාකච්ඡා වන නමුත් අදටත් එහි පාලනයක් මිස සපුරා නතර කර දැමීමක් සිදු කිරීමට සියලු පාර්ශ්ව අසමත් ව ඇත. එයට හේතු කිහිපයකි. එකක් නම් ශිෂ්‍යයන් රටේ පොදු නීතිය අබිබවා ගිය වෙනම ම පිළිගැනීමක් හා අධිකාරයක් අනුව කටයුතු කරමින් සිටීම යි. අනෙක නම් නවක වදය නතර කළ යුතු බව ප්‍රසිද්ධියේ කියන ඇතැම් බලධාරීන් පවා එයට තදබල මැදිහත්වීමක් සිදු නොකිරීමයි. ඇතැම් විට විශ්වවිද්‍යාල ක්‍රමය තුළ පළමු වසරේ රැග් වී දෙවන වසරේ රැග් කර, ශිෂ්‍ය සංගම්වල කටයුතු කර උපකුලපතිවරුන් දක්වා වෘත්තීය ජීවිතයේ ඉහළට ගමන් කරන පුද්ගලයන් ශිෂ්‍යයන්ගේ කටයුතු දෙස විවෘත මනසකින් බලන්නට වීම ද ඔවුන්ගේ කටයුතු සපුරා මර්දනය නොකිරීමට හේතු වූවා විය හැකි ය. තෙල් බැම්මේ රැග් කරනවා යැයි ශිෂ්‍ය උපදේශක රැස්වීමක දී ඇති වූ සාකච්ඡාවකට පිළිතුරු දෙමින් එක්තරා උපකුලපතිවරයකු පවසා සිටියේ නමගම ආදිය අසා කතාබහ කිරීම එතරම් බරපතළ තත්ත්වයක් නොවන බව හා අහුමුළුවල ශිෂ්‍යයන් රදවා ගැනීමට වඩා එය එක් අතකින් යහපත් බවයි. ජපුර සරසවියේ අපගේ උපාධියේ කටයුතුවලින් පසු ව සිදු කළ ඉංග්‍රීසි පාඨමාලාවක සහතික ප්‍රදානය අවස්ථාවේ එම ශාලාව අසල නවකයන්ගේ බකට් කිරීමක් ද පැවති අතර උපකුලපතිවරයා ගේ දැනුම් දීමෙන් එය වෙනත් තැනකට රැගෙන යනු ලැබිණ. තමන්ගේ දේශනය අවස්ථාවේ දී ඔවුන්ට ස්තුතිය පළ කරමින් උපකුලපතිතුමා කියා සිටියේ එසේ මඩ නාගැනීම ප්‍රාථමික ක්‍රියාවක් වුවත් එය වෙනත් තැනකට රැගෙන යාමට තරම් විනයක් ඔවුන් කෙරෙහි පැවතීම ගැන සතුටු වන බවයි.
නවක වදයට එරෙහි ව විශ්වවිද්‍යාල බලධාරීන් සැබෑ ලෙස ම මැදිහත් වෙන්නට ගත්තේ මෑතක දී ය. ඒ වන තුරු ඔවුන් සිදු කළේ එයට එරෙහි ව මැදිහත් වන බවටත්, නවක වදයක් නැති බවටත් මාධ්‍ය ආදියේ මවා පෑම ය.
නවක වදය නැති කළ යුතු වන්නේ ශිෂ්‍යයන් මර්දනය කිරීමෙන් නොවේ. නීති හදුන්වා දීම, නවක සතුට වැනි වැඩසටහන් ඇරඹීම, නායකත්ව පුහුණු ආදි සියල්ල ම මේ වන විට විවිධ පැතිවලින් අසාර්ථක වී ඇත. මා අදහස් කරන පරිදි ශිෂ්‍යයන්ගේ සැබෑ ප්‍රශ්න හදුනා ගෙන ඒවාට සාධනීය විසදුම් ලබා දුන හොත් නවක වදයේ ඇතැම් කරුණු විසදා ගත හැකි වනු ඇත. නවක වද ක්‍රියාවලියේ ඉහළින් ම කටයුතු කරන ග්‍රාමීය විද්‍යාර්ථීන් ගැන මෙහි දී විශේෂයෙන් විමසිලිමත් වීම වැදගත් ය. ඔවුන්ගේ උපාධි පාඨමාලාවල ඇති ගුණාත්මක අගය වැඩි කිරීම, රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම, කුසලතා-ආකල්ප හා දැනුම නූතන ලෝකයට සමපාත කරවීම, සුබසාධන කටයුතු දියුණු කිරීම ආදිය මෙහි දී විශේෂ අවධානයට ගැනීම වැදගත් වනු ඇත. නවක වදය තහනම් කළ ද ශිෂ්‍යයන්ගේ සාමූහිකත්වයත්, සාහිත්‍ය-කලා-සංස්කෘතික කටයුතු සිදු කිරීමට ඇති නිදහසත්, ඔවුන්ගේ සාමූහික දේශපාලන නිදහසත් ආරක්ෂා කළ යුතු වේ.
පරිපාලන අංශවලට මෙන් ම මෙහි දී ශිෂ්‍යයන්ට ද පැවරෙන කාර්ය භාරයක් ඇත. ඒ ඒ කාලවල සමාජ ඇගයුම් හා අවශ්‍යතා විවිධ වන බව වටහා ගැනීම වැදගත් ය. අද වන විට පවතින ශිෂ්ටත්වය අගය කරන, සමානාත්මතාව හා නිදහස ගැන කතා කරන තාක්ෂණික වශයෙන් දියුණු ලෝකයේ තවදුරටත් සරසවි සිසුවා ගෝත්‍රිකයෙකු ලෙස හංවඩු ගැසී සිටීම ඔවුන්ගේ අභිමානයට ද කැලලකි. ඒ නිසා නවක වදය යනුවෙන් තවදුරටත් ශේෂ ව ඇති අංග ද නූතන ලෝකයට ගැළපෙන ලෙස යාවත්කාලීන විය යුතු වේ. එදා ඉංග්‍රීසි කතා කිරීම තහනම් කෙරුණේ සමානාත්මතාව ඇති කිරීමට ය. මානය දුරැ කිරීමට ය. එහෙත් අදවන විට එය පන්තිය තීරණය කෙරෙන්නක් නො ව අත්‍යවශ්‍යයෙන් ම ප්‍රගුණ කර සිටිය යුතු වන කුසලතාවකි. ඒ නිසා ඒවායෙන් විහිළුවට පත් වන්නේ ජ්‍යෙෂ්ඨයන් ය. මේ දිනවල ගනුෂ්ක රන්දුල ‘කුණු සින්නෝ‘ නමින් ලිපි පෙළක් ලියමින් සිටී. ජ්‍යෙෂ්ඨයන් ඒවායේ පැවසෙන ආකාරයේ විහිළු ක්‍රියා සිදු කරන පිරිසක් නොවිය යුතු බව විශ්වාස කරමි. දියුණු ලෝකයට ගැළපෙන ආකල්ප සිසුන් තුළ ද පැවැතීම වැදගත් වේ. ලෝකයේ දියුණු විශ්වවිද්‍යාල ඉන්ටර්න්ෂිප් ආදිය මගින් සිසුන්ගේ කුසලතා ඇති කරවන අතරවාරයේ අපගේ සිසුන් තවමත් කැට හොල්ලමින් බස්වල සිටිනවා නම් එක් පැත්තකින් ඒ ගැන යළි සිතා බැලිය යුතු වේ. මෙතරම් ව්‍යාපාරිකයන්, අනුග්‍රාහකයන් සිටින ලෝකයක ඔවුන්ගේ සහායෙන් කලා කටයුතු කළ නොහැක්කේ දැයි එක් අතෙකින් සිතා බැලීම වැදගත් ය.

නවක වදයට විරුද්ධ බව පවසමින් මැදිහත් වුණු බොහෝ දෙනා අවංකව ම එසේ මැදිහත් නොවුණු බවත් එය ද වෙනත් විදිහක දේශපාලනයක් පමණක් බවත් මෑතකාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් වලින් දැක ගත්තෙමි. නිදර්ශනයක් ලෙස ජපුරේ සමන්ත සිසුවා නවක වදයට විරුද්ධ වූයේ වෙනත් දේශපාලනික අවශ්‍යතාවක් අනුව ය. එවකට සිටි උපකුලපතිවරයා වූ එපිටවත්ත මහතා සිදු කළේ එම සිසුවාගේ මරණය පාවිච්චි කරමින් විශ්වවිද්‍යාලයේ පොදු ශිෂ්‍යයා මර්දනය කිරීම සදහා වෙනම ම ශිෂ්‍ය පිරිසක් පෝෂණය කරවීම ය. එම ක්‍රියාවලියේ තුච්ඡ භාවය හමුවේ පොදු ශිෂ්‍යයා පමණක් නොව ආචාර්යවරු ද එම උපකුලපතිවරයා නෙරපා හැරීමට එක් වූහ.

අවසන් වශයෙන් කිව යුතු වන්නේ හමුදා පොලිසි යොදාවා ශිෂ්‍යයන් මර්දනය කිරීමෙන් නොව ශිෂ්‍යයන්ගේත් පරිපාලන අංශවලත් මැදිහත්වීමෙන් අවංක වැඩපිළිවෙළක් මගින් නවකවදය පරාජය කළ යුතු බවයි. එසේ නොවුණ හොත් විශ්වවිද්‍යාල ප්‍රජාව ම පොදුජනතාවගේ අප්‍රසාදයට ලක් වනු ඇත.

නවක වදය සම්බන්ධ මාගේ හැදිහත්වීම

දැන් ඔහොම කීවාට ඒකාලේ රැග් කරන්නට ඇතැයි කෙනෙකු කිව හැකි ය. ඔවුන්ට පිළිතුරක් ලෙස කීමට ඇත්තේ මා කිසිදාක රැග් කර නැති බව යි. වසර හතරකට අධික කාලයක් අවසර ඇතිවත්, නීතිවිරෝධී ලෙසත් නේවාසිකාගාරවල රැදී සිටියේ අපට තිබූ ආර්ථික ගැටලු නිසා ය. රැග් කරන්නන් අතරේ සිටීමට සිදු වූ නමුත් මම රැග් නොකළෙමි. නේවාසිකාගාරවල අමානුෂික වද හිංසා බලා සිටීමට නොහැකි ඇතැම් අවස්ථාවක එළිපහළියට වී හුදෙකලාව සිටියෙමි. එම අවස්ථාවේ දී අපගේ වසරේ ම ශිෂ්‍යයෝ මට පහර දීමට පැමිණියහ. හොස්ටල් බකට් එක දවසේ නවකයන් යට ඇදුම පිටින් සරසවිය තුළට ඇතුළත් කෙරුණු අතර ගේට්ටුව ළග සිට ම ඇතුළට යායුතු වූයේ බඩගා ගෙන ය. මා වෙත පැවරුණේ කොළ අත්තකින් පහර දීම ය. මම කොළ අත්ත අතේ තියා ගෙන සිටි නමුත් කිසිවෙකුටත් පහර නොදුන්නෙමි. ඒ වෙනුවට හැම කෙනාගෙන් ම ‘උඹට අමාරු ද‘ යන්න පමණක් ඇසීමි. තෙල් බැම්මේ ගොන්පාට්වලින් නොනැවතී ඔවුන්ට අධ්‍යාපනික ව වැදගත් වන යමක් විණි නම් ඒ සදහා සහාය වීමි. නවක වදය කාලයේ හදුනාගත් අය එය අවසන් වීමෙන් පසුව පුස්තකාලයට කැදවාගෙන ගොස් සුචිය අනුව පොත් තෝරා ගැනීම ආදි ඔවුන් නොදැන සිටි දේ කියා දුන්නෙමි. කිසිවෙකුටත් කිසි දිනක වදහිංසා සිදු කර නැත්තෙමි. කොමන් එකේ දවසක් දෙකක් පොදුවේ කතා කර ඇත්තෙමි. මග දී නම ගම අසා ඇත්තෙමි. සංගීතය කරන කෙනෙකු ලවා සින්දුවක් දෙකක් කියවීම හැරෙන්නට වෙනත් හිංසාවක් නම් මගෙන් ඇති නොවන්නට ඇත.

අප දෙවන වසරේ සිටි කාලයේ රැග් එක පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දෙවන වසරේ පිරිමි ළමුන්ට දේශනවලට යාම තහනම් කෙරිණ. අනතුරු ව එය හොස්ටල්වල පිරිමිළමුන්ට පමණක් සීමා කෙරිණ. තීන්දු ගන්නේ බැච් එකේ සිටින උණකාරයන් කිහිප දෙනෙකි. අප ඒවා ක්‍රියාත්මක කළ යුතු ය. එය මට තදින් දැනුණු කරුණක් විය. මම දේශන කට් කළ අයෙක් නොවීමි. ඒ අනුව මා සිදු කළේ දේශන ශාලාවේ පඩිය උඩ පත්තර කොළයක් එළාගෙන වාඩි වී සිට දේශනට ඇහුම්කන් දී සිටීම ය. ඒ සිදුවීම නිසා ම යථා කාලයේ දේශනවලට යන්නට අවසර ලැබිණ.

පළමු වසරේ වද හිංසා දරා ගත නොහැකි ඇතැම් අවස්ථාවල සරසවියේ සිට නේවාසිකාගාරයට යාමට පාර මාරුවන අතරවාරයේ කිසිවෙකුටත් නොදන්වා පැන ගතිමි. ගෙදරට දුම්රියෙන් ගොස් ඊළග දිනයේ පැමිණියෙමි. කැට උද්ඝෝෂණ මළගෙවල් චාරිකා ආදියට කැමැත්තෙන් සහභාගී වූ අවස්ථා ඇත. ඒවා සරසවි සිසුන් ලෙස කළ යුතු ම දේ බව හැගී ගිය අවස්ථාවල ය. එහෙත් අපව කඩේ යවන බව පෙනුණු අවස්ථාවල ඒවාට සහභාගී වන බව පෙන්වමින් පිටකොටුව දුම්රිය ස්ථානය ළග දී ටිකට් පතක් ගෙන ගාලු දුම්රියක නැගී ගෙදර ගියෙමි. නවක වදයත් විද දරා ගෙන, නේවාසිකාගාරයේ ජීවත් වෙමින් අධ්‍යයනාංශයේ හා සමස්ත මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ ද ඉහළ ම ලකුණු ලබා පැමිණි ගමන ගැන අද විටෙක මට ම පුදුම සිතේ. ඕනෑම දෙයක් උපේක්ෂාවෙන් විද දරා ගැනීමේ හැකියාවක් පැවතීමේ වැදගත්කම අද එදාටත් වඩා හොදින් මට දැනේ.