පොළොව යට ලෝහ හඳුනා ගන්නා උපකරණ සමග අයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

භූමියේ වලදමා ඇති ලෝහ හදුනා ගැනීමේ උපකරණ තුනක් සමග දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු පිංදෙණිය බෝයගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකකයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බස් රථ හිමිකරුවෙක්ද වන 58 වියේ පසුවන්නෙකි.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කළ වැටලීමේදී බෝර 12 සජීවී පතොරම් 10 ක්, බෝර 16 පතොරම් 04 ක්ද ඔහු සතුව තිබී හමුවී ඇත.

මෙම සැකකරුගේ නම දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලේඛනයට ඇතුලත්ව ඇත්තේ ගිනි අවි භාවිතා කිරීම් සම්බන්ධයෙන් වූ චෝදනාවක් ඇතුළු අපරාධ කිහිපයකට ඔහු අධිකරණය හමුවේ වරදකරුවූ පසුව ය.

වාහන අලුත් වැඩියා කිරීමේ ගරාජයක් ද ඔහුට අයත් ය.

භූමියේ ඇති ලෝහ උපකරණ හදුනා ගැනීමේ යන්ත්‍ර තුනක් ලග තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සදහන් කර ඇත්තේ වාහන අලුත් වැඩියා කිරීමේ කටයුතු වලට එය යොදා ගන්නා බවයි.

එහෙත් එවැනි උපකාරණ වාහන අලුත් වැඩියා සදහා යොදා නොගන්නා බවත් මෙම උපකරණ පසුගිය කාලයේ වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ නිදන් වල දමා ඇති ස්ථාන හදුනා ගැනීමට බවත් පොලීසිය සදහන් කළේය.

මෙම සැකකරුට මෙම උපකරණ තුන ලද ආකාරය ගැන විමර්ශන පවත්වන බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.