කොවිඩ් මළසිරුරු ගැන තවම තීරණය  ආදාහනයයි 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

– සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොවිඩ්-19 ආසාදිත මළසිරුරු  සම්බන්ධයෙන් මෙරට තුළ තවමත් ක්‍රියාත්මක කරනු ලබන්නේ ආදාහනය කළ යුතුය යන විශේෂඥ මතය පමණක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (7) පාර්ලිමේන්තුවට දැන්වීය.
 වෛරස විශේෂඥ කණ්ඩායමක් රාජ්‍ය ඇමිතිනී  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හමුවී නොනිල වශයෙන් ඉදිරිපත් කළ මතය ඊට අදාළ ප්‍රධාන කමිටුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව ද ඇය එහිදී  පැවසුවාය.
අවසන් තීන්දුව විශේෂඥ සාක්ෂි මත පදනම්ව ගනු ලබන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
 “දැනට කොවිඩ් රෝගයෙන් මියයන්නන්ගේ මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබාදීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කළයුතු බවයි. එම නිසා එම පැහැදිළි නිර්දේශය අපි ක්‍රියාත්මක කරනවා.
වෛරස විශේෂඥ කණ්ඩායමක් රාජ්‍ය ඇමිතිනී  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය හමුවුණා. ඒක මේ ප්‍රධාන කමිටුව නෙමෙයි. එතුමන්ලගෙ මතය ලිඛිතව දීලා තිබුණා. ඒක අපි ප්‍රධාන කමිටුවට යොමු කළා. ප්‍රධාන කමිටුවෙන් තාම අපිට වෙනම තීරණයක් ආවේ නෑ. ප්‍රධාන කමිටුව මෙය අධ්‍යයනය කරමින් සිටිනවා.” යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දන්වා සිටියා ය.