පොලිස් ඉතිහාසයට එක්වූ කාන්තා DIGට  පොලීසියෙන්ම එන කැරැල්ලට මුහුණදෙන්න පාර්ලිමේන්තුවෙන් පළිහක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට කිසිදු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය නොහැකි බව පවසමින් මෙරට පොලිස් ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පසුගියදා පත් වූ බිම්ශානී ජාසිං ආරච්චි මහත්මියගේ උසස්වීමට එරෙහිව පොලීසිය තුළින්ම එල්ලවන විරෝධය හමුවේ ඇයගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරමුණ ගෙන තිබේ.
එම සංසදය ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් එම සංසදය නිවේදනය කළේය.
බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට පසුගියදා උසස් වීම් ලැබු නමුත් එම පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ එම පත්කිරීමට අදාළ රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය නොමැති බව පවසමිනි. එබැවින් කිසිදු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය නොහැකි බව පෙත්සම්කරුවන් පවසා තිබේ.
එම පත්කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම පත්කිරීම බලරහිත කරමින් නියෝගයක් ලබාදෙන ලෙසය.
මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊයේ (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙත්සම් ගොනුකළ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ පොලිස් කාන්තාවන්ට තම දක්ෂතාවය අනුව ඉහළට යාමේ අවකාශය තිබිය යුතු අතර අවස්ථාව නොදීම කාන්තාවන් වෙනස්කොට සැලකීමක්. බලවත් අප්‍රසාදය පළ කරන බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහභාගි වී සිටියහ.