Featuredවිශේෂාංග


Share now!

මෑත ඉතිහාසයේ මිනිස් වර්ගයාට එල්ලවූ බරපතලම අභියෝගයක් වන, නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ නවීන වෛද්ය විද්යාව ඊට පිළියම් සොයන්නට උත්සුක වුනා. රෝගය පැතිරීම පාලනය, ප්රතිකාර ක්රම ගැන වගේ ම වෛරසයට එරෙහි ප්රතිශක්තිකරණය ඇති කරගැනීම පිළිබඳවත් පර්යේෂණ රාශියක් කඩිනමින් සිදුවෙන්න පටන් ගත්තා. එතෙක් මෙතෙක් සිදු වූ වේගවත්ම ප්රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය සහ දැවැන්ත ම එන්නත්කරණ වැඩසටහන ලොව පුරා දියත් වුනේ එහි ප්රතිඵලයක් විදියට. අධික ඉල්ලුමට සරිලන සැපයීම ලබා දීමේ අපහසුතා, රටවල් අතර එන්නත් සාධාරණව බෙදී නොයෑමේ ගැටලුව වගේ ම කඩිනම් නිශ්පාදන ක්රියාවලියක් අතරතුර වුවත් එන්නත්වල ආරක්ෂිත බව වගේම කාර්යක්ෂම බවත් නොඅඩුව ආරක්ෂා කරගැනීම වැනි අභියෝග රැසකට මෙහි දී මුහුණ දෙන්න සිදු වුන බව නොරහසක්. දිනෙන් දින අලුත්වෙන විද්යාත්මක තොරතුරු අනුව කොවිඩ් එන්නත් මඟින් ආසාදන/ අසාධ්යවීම්/ මරණ වළක්වාලන බව මෙන් ම ඒවායේ ආරක්ෂිතභාවය පිළිබඳත් යළි යළිත් තහවුරු කෙරෙමින් පවතිනවා.
ලොව මුලින්ම නිශ්පාදනය කෙරුණු එන්නත් කිහිපයෙන් එකක් වගේ ම ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) අනුමැතිය ලබාගත් දෙවන එන්නත වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනෙකා එන්නත ගැන විද්යාත්මක දැනුම කිහිපවතාවක් යාවත්කාලීන වුනා. නිශ්පාදකයා විසින් පළමුව, මාස 1-3 පරතරයකින් ලබා දිය යුතු බව සඳහන් කල එම එන්නත, තව දුරටත් සිදු කෙරුන පර්යේෂණ සළකා බලා මාස 2-3 පරතරයකින් ලබා දිය යුතු බවට ලෝක සෞඛ්ය සංවිධානය විසින් නොබෝ දිනකින් ම නිර්දේශ කෙරුණ බව බොහෝ දෙනෙකු මේ වන විටත් දැනුවත්. ඊට හේතු වූයේ මාත්රා අතර පරතරය වැඩිවනවිට ප්රතිශක්තිය ප්රභල වන බවට විශ්වාසනීය විද්යාත්මක සාධක හමුවීමයි.
අදාළ මාර්ගෝපදේශය (2021.04.21) –
ඒ අනුව අප රටේත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනෙකා (කොවිශීල්ඩ්) එන්නත් මාත්රා අතර පරතරය දීර්ඝ කරනු ලැබුවා. කෙසේ නමුත් හදිසියේම ගොලීය එන්නත් සැපයුමේ ඇති වූ ගැටලු හේතුවෙන් එම කාලසීමාව ඉක්මවා යමින් දෙවන මාත්රාවේ ප්රමාදයක් ඇති වුණා. ලොව පුරා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනෙකා පළමු මාත්රාව ලබාගත් විශාල පිරිසක් දෙවන මාත්රාව ප්රමාද වීමේ තත්වයට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ලබාගත් මාත්රාවෙන් පවා ප්රතිඵලයක් නොලැබෙනු ඇතැයි ඇතැමුන් සැක පළකලා. එමෙන් ම මාත්රා දෙකකින් යුතු එන්නත්වල දෙවන මාත්රාව ලබාගැනීමේ වැදගත්කම, විකෘති වෛරස ප්රභේදවල පැතිරීමත් සමඟ තවත් ඉස්මතු වුණා.
ඒ සියලුම දෙනාට අස්වැසිල්ලක්වන පර්යේෂණ ප්රතිඵලයක් පිළිබඳ වාර්තාවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලය මඟින් පසුගිය දා ප්රකාශයට පත්කරනු ලැබුවා. ඊට අනුව සති 45 ක පමණ පරතරයකින් ඇස්ට්රසෙනෙකා එන්නත් මාත්රා දෙක ලබාදුන් විටෙක, වඩා වැඩියෙන් ප්රතිදේහ ඇතිවන බවත් එය කොවිඩ්-19 වෛරසයෙන් වඩා ඉහළ ආරක්ෂාවක් ලබා දෙනු ඇති බවත් ඔවුන් එහි සඳහන් කර තිබෙනවා.
විවිධ හේතූන් නිසා ඇස්ට්රසෙනෙකා දෙවන මාත්රාව පමා වූ බොහෝ දෙනක්ට මේ පුවත ​​සහනයක් වනු නොඅනුමානයි.
මාත්රා දෙක අතර කාලය වැඩි කිරීමේදී ඇතිවන එකම ගැටලුව වන්නේ පලමුවන මාත්රාව මගින් ජනනය වන ප්රතිදේහ ප්රමාණය කාලයත් සමඟ සුළු අඩුවීමක් පෙන්නුම් කිරීමයි. මේ නිසා දෙවන මාත්රාව ලබා ගන්නා තෙක් රෝගය වැළඳීමේ ප්රවණතාවය යම්කිසි වැඩිවීමක් සිදුවිය හැකියි. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය මගින් ලංකාව තුල සිදුකරන ලද පර්යේෂණයක් මගින් පලමුවන එන්නත් මාත්රාව ලබාදී සති හතරකින් 97% දෙනෙකුට හොඳින් ප්රතිදේහ ජනනය වීම සිදුවන බවත්, සති 16 කට පසුව 74% ක් දක්වා පහත ගොස් ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා.
මේ අනුව , කල් ගතවීමත් සමඟ ලැබෙන අවසාන ප්රතිදේහ ජනන ප්රතිඵලය ඉතාමත් සුබදායි වුව ත්, එම කාල පරිච්ඡේදය තුළ රෝගය වැළඳීමේ සුළු අවදානම ද සැලකිල්ලට ගනිමින් මෙම පරතරය සඳහා වඩාත්ම උචිත කාලපරාසය කුමක්දැයි යන්න ඉදිරියේදී පර්යේෂණ මගින් තහවුරු කර ගත යුතුව තිබෙනවා.
එන්නත්කරණය පිළිබඳව මෙන්ම අනෙකුත් වෛද්ය විද්යාත්මක කරුණුවලත් යාවත්කාලීන තොරතුරු ඔබ වෙත සමීප කරන්නට අපි නිරතුරුවම සැදී පැහැදී සිටින බව සිහිපත් කරන අතරේ, එන්නත් ලබාගැනීමෙන් පසුවත් අඛණ්ඩව සෞඛ්ය පුරුදු අනුගමනය කරන්නැයි යළිත් වතාවක් කාරුණිකව අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය .