වෙසක් උත්සවය කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) දින කුලියාපිටියේ දී පැවසීය.

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය රැස්කොට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බව වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

 “වත්මන් තත්වය සොයා බැලීම සඳහා අද අපි කුලියාපිටිය ප්‍රදේශයට පැමිණියා. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පාස්කු ඉරිදා දේව මෙහෙයන් කඩාකප්පල් වුණා. නමුත් මේ ප්‍රදේශවල සිටින ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා එළඹෙන වෙසක් උත්සවයත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි. ඒ වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අපි තීරණය කළා.

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලු බලතල ලබාදී තිබෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිතුමා ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ නිකුත් කළා. අසරණ ජනතාවට කරදර හිරිහැර කරමින් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසි ලෙසකින්වත් ඉඩ ලබාදෙන්නේ නැහැ.

මෙම සිදුවීම්වලින් හානියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳව ඇමැති මණ්ඩලයේ දී අවශ්‍ය තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා.”