බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනපති පොදු සමාව ලබා නිදහස්වී බන්ධනාගරයෙන් පිටතට පැමිණෙයි.
ජනතාව රැඳී සිටින ගේට්ටුවෙන් නොව ස්වාමීන් වහන්සේ වෙනත් ගේට්ටුවකින් පිටත් කර හැරීමට පියවර ගෙන ඇත.
ඥානසාර හිමි බන්ධනාගාරයෙන් කොට්ටාව රුක්මල්ගම පිහිටි පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලෝක හිමි බැහැදැකීමට ගොස් තිබේ.
ජනතාව අපේක්ෂාවෙන් සිටි ගේට්ටුවෙන් නොව වෙනත් ගේට්ටුවකින් උන්වහන්සේ පිටත් කර හැරියේ ආරක්ෂක හේතුන් මත බවට පිටතට ආ ස්වාමීන් වහන්සේ නමක රැස්ව සිටි පිරිස හමුවේ පැවැසූහ.
“මෙතනට හාමුදුරුවෝ ඇවිත් අදහසක් දක්වන එකට වඩා උන්වහන්සේගේ ආරක්ෂාව සැපයීම වටිනවා. ඒ නිසයි ආරක්ෂක අංශ ඒ තීරණය අරන් තියෙන්නෙ” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී මාධ්‍යවේදියකු පණිවිඩය ගෙන ආ ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියේ “හාමුදුරුවන්ගේ කටට නිදහසක් ලැබිලා නැද්ද ඒ කියන්නේ?” යනුවෙනි.
මෙම අවස්ථාව අපේක්ෂාවෙන් වැලිකඩ බන්ධනාගාරය අවට භික්ෂූන් වහන්සේලා, සිවිල් සංවිධාන මෙන්ම ජනතාව ද අතිවිශාල පිරිසක් රැස්ව සිටියහ.
බන්ධනාගාරය වෙත අද පෙරවරුවේ සිට ඥානසාර හිමිගේ මව පැමිණ සිටිනු දක්නට හැකිවිය.
මව එහිදී සතුටු කඳුළු නඟමින් කියා සිටියේ “උදව් කරපු හැමෝටම ස්තූතියි. පිං සිදුවේවා හැමෝටම බුදුසරණයි. හාමුදුරුවෝ බලන්න පන්සලට ඉක්මනින් යන්න ඕනේ” යනුවෙනි.


