රටේ ණය බර තවත් වැඩිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද වන විට රජයේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 106 දක්වා ඉහල ගොස් ඇති බවත් ඒ තුළ විශාල වශයෙන් දේශීට ණය ඉහල ගොස් ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසුවේය.

“සංචාරක කර්මාන්තය හරහා වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙනුත් අපට පෙර වර්ෂවලට වඩා වැඩි ආදායමක් ලැබෙමින් තියෙනවා. ක්‍රම ක්‍රමයෙන් රටේ ආර්ථිකයත් යථා තත්ත්වයට පත්වෙමින් යන බවක් පේනවා.

මේ අතර අපිට ආර්ථිකය සම්බන්ධයෙන් යම් යම් භයානක පෙරනිමිතිත් පෙනෙමින් තිබෙන බවත් සිහිපත් කළ යුතුමයි. මේ වන විට රජයේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 106 දක්වා වගේ වැඩිවෙලා තියෙන්නේ. ඒ තුළත් විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙන්නේ දේශීය ණය. ඒ නිසා දේශීය සහ විදේශීය ණය සම්බන්ධයෙන් තවමත් ධරණීය තත්ත්වයක් ඇති කරගන්න අපට හැකියාව ලැබිලා නැහැ කියලා කියන්න පුළුවන්.

උදාහරණයක් හැටියට 2020 වෙද්දී අපේ අයවැයෙන් ණය සඳහා පොලී ගෙවන්න වෙන් වුණේ රුපියල් බිලියන 866 වගේ ප්‍රමාණයක් පමණයි. නමුත් 2023 වන විට රුපියල් බිලියන 2456 දක්වාත් 2024 වන විට රුපියල් බිලියන 2690 දක්වාත්, 2025 වන විට රුපියල් බිලියන 2950 දක්වාත් වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දි ණයවලට පොලී ගෙවන්න විතරක් අයවැයෙන් රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් වෙන් කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා.

රටේ ආර්ථිකයට ඉතාමත් වැදගත් සාධකයක් වන ආයෝජන සඳහා වෙන් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 1300කට ආසන්න ප්‍රමාණයක් පමණයි. නමුත් ණය ගෙවන රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් වෙන්වෙනවා. ආර්ථික විද්‍යාත්මකව මේ පිළිබඳව සලකා බැලීමේදී ඇත්තටම අපේ රටේ ආර්ථිකය නිවැරදි දිශාවටද ගමන් කරන්නේ කියන ප්‍රශ්නය අපිට ඇතිවෙනවා”