වත්මන් ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වකරු වන ජනතා විමුක්ති පෙරමුණට අදට (මැයි 14) වසර 60ක් සපිරේ.
1965 මැයි 14 වෙසක් පොහෝ දිනයේදී ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී පැවති සාකච්ඡාවකින් ජවිපෙ ආරම්භ කෙරිණි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු හත් දෙනෙකු ඊට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ සමාජවාදී පාලනයක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම දේශපාලන පක්ෂය නිර්මාණය කරන ලදී.

විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ඇරඹුණු ජවිපෙ 1971දී සහ 1987 – 89 යුගයේදී සන්නද්ධ කැරළි දෙකක ද නිරත විය. එම සන්නද්ධ කැරළි දෙකම දරුණු ලෙස මර්දනය කෙරිණි. 1989 නොවැම්බර් 13 වනදා පක්ෂ නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර මහතාව ඝාතනය කෙරිණි. පක්ෂ සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් මෙම කැරළිවලදී රජයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලදී.
ඉන් අනතුරුව 1993 වසරේ සිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වූ ජවිපෙ 1994 මහමැතිවරණයේදී පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට සමත් විය. 2000 දශකය මුලදී එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ද එක්වූ ජවිපෙ කෙටි කලකදී එම ආණ්ඩුවෙන් ඉවත් වූයේය. 2018 වසරේදී මැතිවරණ පෙරමුණක් වශයෙන් ජාතික ජන බලවේගය නිර්මාණය කළ ජවිපෙ ඒ හරහා 2024 වසරේදී ජනාධිපති ධුරයත් පාර්ලිමේන්තු බලයත් ලබාගැනීමට සමත් වූයේය.
ඒ අනුව, 1965 වසරේදී එවකට 22 හැවිරිදි තරුණයකු වූ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් සාමාජිකයින් 07 දෙනෙකුගෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණ අද වනවිට ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරුණු, එමෙන්ම විදෙස් රටවල් ගණනාවක ද ශාඛා සංවිධාන සහිත දැවැන්ත පක්ෂයක් බවට පත්ව තිබේ. එහි වත්මන් නායකත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දරණ අතර පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන්නේ ටිල්වින් සිල්වා මහතා ය.
ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිත අතර අද පස්වරු 03.30 ට කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සංවත්සර සමරුව පැවැත්වීමට නියමිත ය. “ලොව දිනන ජවයක් – අපරාජිත ගමනක්” මැයෙන් යුතුව මෙම සංවත්සර සමරුව පැවැත්වේ.