කොවිඩ් ගැන අනිසි බියක් එපා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ඇතුළු මේ දිනවල රට තුළ පැතිර යන රෝග සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වාදෙන්නේ ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් රෝගීන් වාර්තා වීම මේ දිනවල යම් වැඩිවීමක් සිදුව ඇති බවය.

කෙසේවෙතත් එය වසංගත තත්ත්වයක් නොවන බව අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර සිටී.

ඊයේ රාත්‍රියේ විකාශය වූ , රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය

එම වැඩසටහනට එක් වු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, මේ වන විට කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

“අපි හැමෝම දන්න දෙයක් තමා පහුගිය කාලයේ බැලුවහම ජුනි, ජුලි මාසවල තමා ඩෙංගු රෝගය වැඩිවෙන්නේ. මේ මදුරුවාම තමා විකුන්ගුන්යා රෝගයත් පතුරවන්නේ. මේ රෝග දෙකම වැඩිවීමේ අවධානමක් තියෙනවා. දැනට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. එමඟින් සමහර වයස් කාණ්ඩවල අයට බරපතළ තත්ත්වයන් ඇති වෙලා සමහර විට මරණය පවා ඇති විය හැකියි.”

මේ අතර මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන ප්‍රචාරයන් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී මෙසේ පැහැදිලි කළේය.

“වෛරස් ස්වසන රෝගයක් ඇති වුවහොත් මුඛ ආවරණ පැලඳීම හොඳයි අනිත් අයට බෝවීම වැළැක්වීම සඳහා. යම් ගැටලුවක් ආවා මුඛ ආවරණ පලඳින්න කියලා නිවේදනයක් නිකුත් කිරීම නිසා. යම් දෙයක් ජනතාවට දැන්විය යුතු නම් අපි පසුබසින්නේ නෑ. මුඛ ආවරණ දැමිය යුතු නම් අපි කියනවා දැමිය යුතුයි කියලා. නමුත් පැහැදිලි ලෙසම මේ අවස්ථාවේ අවශ්‍ය නෑ. මේක සාමාන්‍ය වෙලා. ඒ නිසා තමා විශාල වශයෙන් සංකූලතා, මරණ ඇති වෙන තත්ත්වයක් දැන් නෑ.”