මූල්‍ය වංචාවකට වරදකරු වූ හිටපු බැංකු කළමනාකරුවකු වන ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී කනස්සල්ල පළකළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරාට අනුව, මැයි මස මුලදී අනුරාධපුර මහාධිකරණය විසින් රුපියල් මිලියන 4 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ සැකකරුට, වරදකරු වීමෙන් සති කිහිපයකට පසු, වෙසක් පොහොය දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සනින් සමාව ලබාදී ඇත.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, තිලකරත්න තවත් නඩු කිහිපයකට මුහුණදෙන බැවින්, සමාව නිකුත් කිරීමේදී අනුගමනය කරන ලද නිර්ණායක සහ ක්‍රියාපටිපාටි පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරේරාප්‍රශ්න කළේය.
විනිවිදභාවය සහ වගවීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළ නමුත් සැසිය අතරතුර රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.
ආගමික උත්සවවලදී සාමාන්‍යයෙන් සුළුවැරදි සඳහා වෙන්කර ඇති ජනාධිපති සමාවක් බරපතල මූල්‍ය වැරදිකරුවකුට ලැබුණේ මන්දැයි ප්‍රශ්න කරමින් ජාතික පුවත්පත් කිහිපයක් ද මෙම පුවත ඉස්මතු කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත .
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළවෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුවී ඇති බවද එහි දැක්වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවී තිබේ.
ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි.
එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වෙයි.
කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාමලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.