සාගරය අඳුරුවෙයි , පරිසර පද්ධති අනතුරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් රාජධානියේ, ප්ලිමත් විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුව, පසු ගිය දශක දෙක පුරාවට ලෝකයේ සාගරයෙන් පහෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් අඳුරු වී ඇතැයි සොයා ගෙන තිබේ.

“සාගරය අඳුරු වීම” (ocean darkening) ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය සිදු වන්නේ සාගරයේ ඉහළ ම ස්තරයේ සිදු වන වෙනස්කම් නිසා ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසු වීම හේතුවෙනි. ප්‍රකාශ කලාපය (photic zone) ලෙස හැඳින්වෙන මෙම ඉහළ ස්ථරය සියලු ම සාගර ජීවීන්ගෙන් 90%කට නිවහන වන අතර ගෝලීය ජෛව භූ රසායනික චක්‍ර නිවැරදිව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.

Global Change Biology ජර්නලයේ පළ කරන ලද මෙම අධ්‍යයනයෙන් 2003 හා 2022 අතර කාල වකවානුව තුළ ගෝලීය සාගරයෙන් 21% අඳුරු වී ඇති බව සොයා ගත්තේ ය.

මෙම පර්යේෂණයට අනුව, ඇල්ගී වර්ධනයේ වෙනස්වීම සහ මුහුදේ මතුපිට උෂ්ණත්වය වෙනස් වීම වැනි සාධක සාගරය අඳුරු වීමට හේතු කාරක වන බව විශ්වාස කෙරේ.

අඳුරු වීම නිතර ම දක්නට ලැබෙන්නේ, ප්ලවාංග වර්ධනය වීමට උපකාරී වන, පෝෂක කොටස් බහුල ජලය මුහුද මතුපිටට පැමිණෙන සහ අධික වර්ෂාපතනය නිසා කෘෂිකාර්මික රසායන ද්‍රව්‍ය හා අවසාදිත ගොඩබිමෙන් සෝදා ගෙන ගොස් ජලයට එක්වන වෙරළබඩ ප්‍රදේශවලයි.

මෙම අඳුරු වීම, බෝල්ටික් මුහුද ඇතුළුව, වෙරළබඩ ප්‍රදේශ සහ ගොඩබිමෙන් වටවූ මුහුදුවල පුළුල් ලෙස ව්‍යාප්තව තිබිණි.

මෙම අධ්‍යයනය මගින් යෝජනා කරන්නේ, සාගරය අඳුරු වීම වෙරළබඩ ආශ්‍රිත ප්‍රදේශවලට සීමා නොවන අතර ගොඩබිමේ දුර ගැඹුරු සාගරයට ද බලපාන බව ය.

.විද්‍යාඥයින් පවසන්නේ සාගරය අඳුරු වීම මිනිසා ආශ්වාස කරන වාතයට, ඔවුන් ආහාරයට ගන්නා මාළුවලට හා කාලගුණ විපර්යාසයන්ට එරෙහිව සටන් වැදීමට ලෝකයට ඇති හැකියාවට බලපෑම් ඇති කරන බව ය.

ප්ලිමත් සාගර විද්‍යාගාරයේ, සාගර ජෛව භූ රසායන විද්‍යා හා නිරීක්ෂණ විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී, මහාචාර්ය ටිම් ස්මිත් පවසන්නේ, වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ආලෝකය අවැසි මුහුදු ජීවීන් මුහුද මතුපිට ආසන්නයට පැමිණීමට හැකියාව ඇති බව ය. මේ නිසා ආහාර හා අනෙකුත් සම්පත්වලට ඇති තරගය වැඩි විය හැක.

“එමගින් සමස්ත සාගර පරිසර පද්ධතියේ ම ප්‍රධාන වෙනස්කම් සිදුවිය හැකියි” මහාචාර්ය ස්මිත් පවසයි.”