දකුණු ආසියාවේ විශාලතම වැට්බදු වංචා නඩුවේ 8 වැනි විත්තිකරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ඉදිරි කටයුතු නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දශකයකට වැඩි කාලයක් නීතියෙන් සැඟව සිටි චූදිත කමිල් කුතුබ්දීන් විසින් උසාවි ක්‍රියාවලිය උල්ලංඝණය කර ඇති බව නීතිපතිවරයා විසින් හෙළිකිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න, කුතුබ්දීන්ගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් තිබියදී, ඔහු වරදකරු කළ තීන්දුව නැවත විවෘත කරන ලෙස ඉල්ලා කුතුබ්දීන් වෙනුවෙන් ගොනුකරන ලද තුන්වැනි පාර්ශ්ව පෙත්සමක් පිළිබඳ අවධානයට යොමුකර තිබේ.
කුතුබ්දීන් නමැත්තා රුපියල් බිලියන 3.9 ක වැට් බදු වංචාවක මහමොළකරු බවට 2007 දී අධිචෝදනා ගොනුකළ දා සිට සැඟව සිටියි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ අන්තර්ජාතික රතු නිවේදනයක් තවමත් ක්‍රියාත්මක වේ.

සැකකරු පළාගොස් තිබියදීත්, ඔහුගේ වරද තහවුරු කළ 2023 බහුතර තීන්දුව නැවත බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා තුන්වැනි පාර්ශ්ව පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් 2024 ජූලි 27 වන දින අභියාචනාධිකරණයට ගොනුකර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වංචනික හිමිකම් ඉදිරිපත් කරමින් දැවැන්ත වැට් බදු ආපසු ගෙවීමේ වංචාවක් මෙහෙයවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 14 දෙනකුට සම්බන්ධ මෙම නඩුව වසර පහක් පුරාවට මහාධිකරණය හමුවේ මුලින් විභාග කරන ලදී.
මෙම නඩු විභාගයට සාක්ෂිකරුවන් 200කට අධික සංඛ්‍යාවක් සහ සලකුණු කළ ලේඛන 3,000ක් ඉදිරිපත් කර තිබිණි.
එහි සියලුම විත්තිකරුවන් වැරදිකරුවන් වූ අතර දඩ මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන්ගේ වත්කම් අත්හිටුවන ලදී.
වංචාවේ මහමොළකරු ලෙස සැළකෙන කුතුබ්දීන් අධිකරණයට නොපැමිණි අතර ඔහුද වරදකරුවකු විය.