යුධ ගිනි මැද සිරවුණු , ඉරාන වැසියන්ගේ අඳෝනාව !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ , මේ වනවිට ඉරාන සිවිල් වැසියන් දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇත .

මෙම බරපතල තත්වය ගැන ඉරාන වැසියන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ මෙසේය .

දින තුනක ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු, “හැමෝම මොනයම් හෝ ආකාරයකින් ටෙහෙරානයෙන් පැන යාමට උත්සහ කරනවා,” යැයි එක් නිවැසියෙක්පර්සියානු පුවත් සේවයකට පැවසීය.

ඉරිදා දිනයේ නගරය පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති විය. බොහෝ නගර වැසියන් ඊශ්‍රායල් ඉලක්කවලින් තොර දූරස්ථ ප්‍රදේශවලට යාමට උත්සහ කළ නමුත්, අධික වාහන තදබදය නිසා ප්‍රදේශයෙන් පිටතට යාමට පවා නොහැකි විය.

“ටෙහෙරාන් පැහැදිලිව ම ආරක්ෂිත තැනක් නෙවෙයි,” ටෙහෙරාන්හි පදිංචිකරුවෙක් පැවසීය. “ඊශ්‍රායලයෙන් එල්ල කරන ප්‍රහාර ගැන නිලධාරීන්ගෙන් කිසි ම අනතුරු ඇඟවීමක්වත්, හදිසි අනතුරු සංඥාවක්වත් අපට ලැබෙන්නෙ නෑ.”

ටෙහෙරාන් නගරයේ සිට වෙනත් ප්‍රදේශයකට පළා යාමට හැකි වූ පුද්ගලයෙකු පැවසුවේ, “මම ක්‍රියාකාරී යුද්ධ කලාපයක ජීවත් වෙන බව මට සම්පූර්ණයෙන් ම වැටහිලා තියෙන බවක් මම හිතන්නෙ නෑ, ඒ වගේ ම මට ඒක කවදා වැටහෙයි ද කියලා මට විශ්වාසයක් නැහැ.”


“මේක මගේ යුද්ධයක් නෙවෙයි. මම කිසි ම පැත්තකට පක්ෂව කතා කරන්නේ නැහැ, මට ඕන මගේ පවුලත් එක්ක ජීවත් වෙන්න විතර යි.”

“අපේ නායකයින් අපි ගැන තැකීමක් නොකිරීම ගැන කනගාටු යි. හැමෝම ආතතියෙන් ඉන්නේ. ඒක හරි ම වේදනාකාරී යි,” ඉරාන කාන්තාවක් පැවසීය.

සිකුරාදා සිට, ඊශ්‍රායලය වසර ගණනාවකට පසු එල්ල කළ දැවැන්ත ම ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරානයට පහර දුන්නේ ය.

ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඉරානය පළිගැනීමක් ලෙස ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළේ ය.

සිකුරාදා සිට එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පැවසූහ. මේ අතර, සිකුරාදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 224 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා පැවසීය.

ඉරාන ජාතික කාන්තාවක නිව්ස් ඒෂියා සේවයට පැවසුවේ, ඇයට රාත්‍රී දෙකක් නිදා ගැනීමට නොහැකි වූ බව ය: “මම ඇත්තට ම අමාරු අවස්ථාවලට මුහුණ දුන්නා.”
වර්තමාන තත්ත්වය, ඇය කුඩා කාලයේ 1980 ගණන්වල ඉරාන-ඉරාක යුද්ධය අතරතුර බෝම්බ ප්‍රහාර එල්ල වීම් සහ නවාතැන් සොයා ගිය ආකාරය සිහිපත් කරන බව ඇය පැවසුවා ය.

“ඒ කාලේ, අඩු ම තරමින් ප්‍රහාරයක් එල්ල වුණා ම, අපට සයිරන් හඬක් හරි අඩු තරමින් අනතුරු ඇඟවීමක්වත් ඇහුණා. ඒත් දැන්, මේ බෝම්බ ප්‍රහාර හෝ ඕන ම ගුවන් ප්‍රහාරයක් සිද්ධ වෙනකොට, සයිරන් හඬක්වත් අනතුරු ඇඟවීමක්වත් ලැබෙන්නෙ නැහැ.”

යුද්ධයෙන් පසු උපන් තරුණ පරම්පරාව එය කෙබඳු දැයි නොදන්නා බව බීබීසී පර්සියානු පුවත් සේවයේ ගොන්චේ හබීබිඅසාද් පැවසීය.

ටෙහෙරානයේ තවත් කාන්තාවක පැවසුවේ, ප්‍රහාරවලින් බේරීම සඳහා නගරය හැර යාම ගැන සලකා බැලූ බව ය.

“අපි හැමෝට ම ඕනෑ ම තැනකට කුඩා නගරවලට හෝ ගම්වලට යන්න ඕන වුණා, ඒත් අපි හැමෝට ම දාලා යන්න බැරි ආදරණීයයන් ඉන්නවා, අපි ඔවුන් ගැන හිතනවා,” ඇය පැවසුවා ය. “අපි අත්විඳින දේ ඉරානයේ ජීවත් වෙන අපට සාධාරණ දෙයක් නෙවෙයි.”

“අපි හැමෝම මේ දවස්වල කාලය ගත කරන්නේ, බයෙන්, මහන්සියෙන් සහ දැඩි ආතතියකින්, මේක ගොඩක් දුෂ්කර යි වේදනාකාරී යි.”

ටෙහෙරාන් අගනුවර පදිංචිකරුවෙක් මෙසේ පැවසීය: “මට ටෙහෙරාන් නගරය අත් ඇරල යන්න බෑ. ගොඩක් දුර යන්න බැරි මගේ වයසක දෙමාපියන් අත් ඇරල මට යන්න බෑ. ඊට අමතරව, මම රැකියාවට යන්න ඕනෙ. දැන් මම මොකක් ද කරන්නෙ?”


ඉන්ටර්නෙට් සබඳතා අස්ථාවර වී ඇති හෙයින්, රට තුළ සිටින පුද්ගලයින් සමග සම්බන්ධතා පැවැත්වීම ඉතා අපහසු වී තිබේ.

රටින් පිටත ජීවත් වන බොහෝ දෙනෙක් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ඉරානයේ සිටින ආදරණීයයන්ට පණිවුඩ යවති.

ඇතැම් පුද්ගලයින්ට ඊශ්‍රායල් හමුදාවෙන් අනතුරු ඇඟවීම් ලැබී ඇති අතර, සියලු ම ඉරාන ජාතිකයින්ට හමුදා ස්ථාන අසල ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉල්ලා ඇත. ටෙහෙරානයේ ජනතාව මේ ගැන වඩාත් කනස්සල්ලට පත්ව සිටින බව පෙනේ.

“හමුදා මර්මස්ථාන තියෙන්නේ කොහේ ද? නැත්තේ කොහේ ද? කියල අපි දැන ගන්නේ කොහොම ද?” එක් අයෙක් පැවසීය.


ඉරානය තුළ, න්‍යෂ්ටික මර්මස්ථාන සහ ගුවන් කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවලට වඩා, නේවාසික ගොඩනැගිලි විනාශ වීම, ජනතාව වඩාත් කම්පනයට පත් කළ බව බීබීසී පර්සියානු පුවත් සේවයේ පූයාන් කලානි පැවසීය.

ඉරාන-ඉරාක යුද්ධය අවසන් වීමෙන් පසු බොහෝ ඉරාන වැසියන් එවැනි දර්ශන, විශේෂයෙන් අගනුවර වීදිවල දැක තිබුණේ නැත.

සුන්බුන් යට මිය ගිය දරුවෙකුගේ, වීදියේ වැතිර සිටින දූවිලිවලින් වැසී ගිය ටෙඩි බෙයාර් කෙනෙකුගේ සහ බිම විසිරී ඇති කටු සටහන් පොතක රූප, ඉරාන-ඉරාක යුද්ධය අවසන් වූ දා සිට බොහෝ ඉරාන වැසියන් දැක නොතිබූ දර්ශන විය.