ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති අතර, එය කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි නොසන්සුන්තාවයක් ඇති කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම ඇමරිකාව විසින් පාලනය කරන බවත්, ඇමරිකානු ගුවන් හමුදාව ඉරාන ගුවන් හමුදාවට වඩා බෙහෙවින් ශක්තිමත් බවත්ය. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවයි.
ඊශ්‍රායලයේ ඉල්ලීම් සහ චීන-රුසියානු මැදිහත්වීම
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉරාන ප්‍රධාන පෙළේ නායකයන් රැසක් සහ 300කට ආසන්න සිවිල් වැසියන් පිරිසක් මිය ගොස් ඇත. ඊශ්‍රායලය ඇමරිකානු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ ඉරානය සම්බන්ධයෙන් ඔවුන්ගේ කටයුතු අවසන් වෙමින් පවතින බවත්, ඉරානයේ භූගත න්‍යෂ්ටික පර්යේෂණාගාර විනාශ කිරීම සඳහා ඇමරිකාවේ විශාල බෝම්බ සහ ඒවා ප්‍රවාහනය කරන ගුවන් යානා අත්‍යවශ්‍ය බවත්ය.

කෙසේ වෙතත්, මේ වන විටත් ඇමරිකාව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැත. චීන සහ රුසියානු ජනාධිපතිවරුන් ඇමරිකාවට දන්වා ඇත්තේ, යම් හෙයකින් ඊශ්‍රායලයට ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල කළහොත්, තමන් ද ඉරානය වෙනුවෙන් මැදිහත් වීමට තීරණය කර ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් ඇමරිකාවට සෘජුව ඊශ්‍රායලය වෙනුවෙන් සහාය දැක්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. කෙසේ වෙතත් ඇමෙරිකාව යම් හෙයකින් මෙම ගැටුමට වැඩිදුරටත් මැදිහත් වුවහොත් , චීනය හා රුසියාවද මෙම අර්බුදයට මැදිහත්වීමට වැඩි ඉඩකඩක් පවතී , එය ලෝක යුද්ධයක ඇරඹුමක් වීමේ අවදානමක්ද ඇත .
ගුවන් ආරක්ෂණ පද්ධති අඩාලවීම සහ සටන් විරාමයක අවශ්‍යතාවය.
ඇමරිකාව, ජර්මනිය, සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් ඊශ්‍රායල් ගුවන් යානා සඳහා යටිතල පහසුකම් සපයා දෙමින් සිටිය ද, ඔවුන් සෘජුව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමක් මේ දක්වා සිදු කර නොමැත.
මේ අතර, ඉරානය විසින් දිගින් දිගටම එල්ල කරන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධති අඩපණ වී ඇති බව සඳහන් වේ. ඊට හේතුවී ඇත්තේ ඒවාට අවශ්‍ය උණ්ඩ සැපයීමේ දැඩි ගැටලුවකි. මෙම තත්ත්වය මත, ඊශ්‍රායලය හැකි ඉක්මනින් සටන් විරාමයක් සඳහා යා යුතු බවට ඊශ්‍රායල් පාර්ශවයෙන්ම මත පළ වී ඇත. ඉරානය සතු විශාල මිසයිල සංචිතය දිගින් දිගටම ඊශ්‍රායලයට එල්ල වුවහොත්, ඉදිරියේදී ඊශ්‍රායලයේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවීම මත දැඩි හානි සිදු විය හැකි බව ඔවුන්ගේ මතයයි.
ඊශ්‍රායලයේ අභ්‍යන්තර නොසන්සුන්තාවය
ඊශ්‍රායලය තුළ ද සාමාන්‍ය සමාජය තුළ මේ වන විට යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. මින් පෙර මෙතරම් දරුණු ප්රහාරයන් සඳහා ඊශ්‍රායලය මුහුණ දී නොතිබීම මෙයට හේතුවයි.
විදේශ වාර්තා සහ යුධ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉරානය දීර්ඝකාලීන යුද්ධයකට සූදානම් වන බවයි. ඔවුන් ක්‍රමානුකූලව සිය මිසයිල සංචිතය භාවිතා කරමින් සිටින බව නිරීක්ෂණය වී තිබේ.
ඊශ්‍රායලයේ අභියෝග
ඊට ප්රතිවිරුද්ධව, ඊශ්‍රායලය දිගුකාලීනව දැඩි මූල්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටී. ඔවුන්ගේ මිල අධික ගුවන් ප්‍රහාර පවත්වාගෙන යාම මෙන්ම ගුවන් ආරක්ෂණ පද්ධතිය නඩත්තු කිරීම ද විශාල පිරිවැයක් දරයි. විශ්ලේෂකයන් පවසන්නේ මෙය දැනටමත් ඊශ්‍රායලයට ගැටලුවක් වී ඇති බවයි.