ඇමෙරිකානු බදු සහන කාලය, ලබන සතියේ අවසන් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන සමයේදී පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු, මාස තුනක සහන කාලයකින් පසු නැවත ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම සහන කාලය අවසන් වීමට තවත් දින 6ක් පමණක් ඉතිරිව තිබියදීත්, ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ඒකාබද්ධ ප්‍රකාශයක් හෝ තීරුබදු සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවක් මෙතෙක් නිකුත් වී නැත.

නව 44% ක බදු අනුපාතය ශ්‍රී ලංකාවේ අපනයන, විශේෂයෙන් ඇමරිකානු වෙළඳපොළ ඉලක්ක කරගත් ඇඟලුම්, තේ සහ රබර් වැනි කර්මාන්ත කෙරෙහි සෘජුවම බලපානු ඇති.

මෙවැනි ඉහළ තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා ඇමරිකාවේ තරඟකාරීත්වය අඩුවිය හැකි අතර, අපනයන ආදායමට ද එය අහිතකර ලෙස බලපෑ හැකියි.

මේ අතර, වියට්නාමය, ඉන්දියාව, චීනය සහ බංග්ලාදේශය වැනි ආසියානු කලාපයේ රටවල් කිහිපයක් සමඟ ඇමරිකාව දැනටමත් මෙම බදු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.

මෙය ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරන අතර, කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවට වැඩි බදු බරක් දැරීමට සිදුවිය හැකිය.

ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර සති දෙකක ඇතුලත ඒකාබද්ද ප‍්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් මුල් දිනවල ජනාධිපති අනුර දිසානායක මහතාද පැවසුවේය.

කෙසේ වෙතත්, සහන කාලය අවසන් වීමට ආසන්නව තිබියදීත්, සාර්ථක විසඳුමක් ලැබී නැත. ඉදිරියේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට හෝ තීරුබදු සම්බන්ධයෙන් යම් සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකිවේද යන්න පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් සිටියි.