මේ අවුරුද්දේ ආර්ථිකය ගැන කතා කරද්දි අපිට මඟ අරින්නම බැරි මාතෘකාවක් තමයි ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා ලංකාව ඇතුළු බොහොමයක් රටවල්වලට පනවපු ඉහළ තීරු බද්ද. විශේෂයෙන්ම ලංකාව වගේ රටකට විදේශ විනිමය ගේන ප්‍රධාන අංශයක් විදියට සැලකෙන ඇඟලුම් කර්මාන්තයට මේ කියන තීරු බද්ද නිසා විශාල වශයෙන් අහිතකර බලපෑමක් ඇතිවෙනවා. 2022 අවුරුද්දෙදි විදේශ සංචිතවල හිඟයක් එක්ක දරුණු අර්ථික අර්බුදයකට මුහුණ දුන්න රටක් විදිහට ලංකාවට විදේශ විනිමය උපයා ගැනීම මිසක් නැතිකර ගැනීම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. මේ වගේ වාතාවරණයක් ඇතුලේ තරමක සුබ ආරංචියක් මහා බ්‍රිතාන්‍ය පැත්තෙන් ඇහෙනවා. බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට බදු සහනයක් ලැබෙන්නයි යන්නේ. අද මේ සටහන ඒ ගැනයි.
මෑතකදි ශ්‍රී ලංකාවේ අපනයන අංශයට විශාල ශක්තියක් ලබා දෙමින්, එක්සත් රාජධානියේ රජය, වෙළඳාම ලිහිල් කිරීමට සහ හවුල්කාර රටවල වර්ධනයට දායක වීම වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට (Developing Countries Trading Scheme) විසින් ප්‍රතිසංස්කරණ කීපයක් ප්‍රකාශයට පත් කළා. මේ වෙනස්කම් එළිදැක්වුණේ, ශ්‍රී ලංකා රජය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඇතුළු ජාත්‍යන්තර වෙළඳ තරගකරුවන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව, ජූලි 10 වෙනිදා.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය යනු?
සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) කියන්නේ එක්සත් රාජධානිය විසින් අපනයනය සඳහා අඩු කළ හෝ ශුන්‍ය තීරුබදු ලබා දීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක ආර්ථික වර්ධනය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති එක්සත් රාජධානියේ වරණීය වෙළඳ වැඩසටහනක්. අපේ ඇඟළුම් වෙනුවෙන් යුරෝපා කලාපය අපිට GSP+ සහනය ලබා දීලා තියෙනවා. නමුත් තවදුරටත් එක්සත් රාජධානිය යුරෝපා කලාපයේ සාමාජිකයෙක් නොවන නිසා කලාපයේදී ක්‍රියාත්මක වුණු තීරු බදු සහනය සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ලබාදීම ක්‍රමය පවත්වා ගන්නේ මේ කියන DCTS ක්‍රමය හරහායි. මෑත කාලීන වෙනස්කම් ඔස්සේ මේ දීමනා තවදුරටත් වැඩිදියුණු කරලා තියෙනවා. එක්සත් රාජධානියේ ව්‍යාපාරවලට ඔරොත්තු දෙන සැපයුම් දාම ගොඩනැගීමට, නැගී එන වෙළඳපොළවල ආයෝජනය කිරීමට සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් වෙත පිවිසීමට නව වාණිජ අවස්ථා විවෘත කිරීම DCTS ක්‍රමයේ අරමුණයි.
ලංකාවට ලැබෙන ප්‍රතිලාභ
සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට (DCTS) ඉදිරිපත් වූ ප්‍රතිසංස්කරණ නිසා දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තවත් ඇඟලුම් තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට ඉඩ සැලසෙනවා. ඉදිරියේදී තවදුරටත්, ශ්‍රී ලංකාව වගේ රටවලට වෙළඳාම් කිරීම පහසු වීම සහ එමඟින් රැකියා සහ වර්ධනයට සහය වීමක් සිදු වේවි. මේ පියවර නිසා එක්සත් රාජධානියේ ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් සහිත නිෂ්පාදනවලින්, දැරිය හැකි මිලකට භාණ්ඩ මිලදී ගැනීමේ ප්‍රතිලාභ ලැබෙනවා. ලංකාව ඇරුණාම මෙම සහනය ලබන අනිත් රටවල් වෙන්නේ නයිජීරියාව සහ පිලිපීනය. ඔවුන්ටත් තීරු බදු රහිතව එක්සත් රාජධානියේ වෙළඳපොළට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් එක්සත් රාජධානිය කියන්නේ ලංකාවේ අපනයනවල දෙවන විශාලතම වෙළඳපළ. ඒ නිසා මේ ලැබුණු සහනය ලංකාවේ ඇගළුම් කර්මාන්තයට සැලකිව යුතු සහනයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා.
මේ සුබ ආරංචිය නිවේදනය කළේ එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ ජාත්‍යන්තර හවුල්කරුවන්, ප්‍රධාන ආනයනකරුවන් සහ වෙළඳ සංගම් අතර හමුවකින් පසුවයි. මෙයට ශ්‍රී ලංකා රජය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඇතුළත්. ශ්‍රී ලංකාවට ලැබෙන වඩාත්ම වැදගත් ධනාත්මක වෙනස වෙන්නේ විශේෂයෙන්ම ඇඟලුම් අංශය සඳහා ඇති ප්‍රභවස්ථාන නීති ලිහිල් කිරීමයි. ඒ නිසා දැන් DCTS රටවලට පුළුල් පරාසයක ජාතීන්ගෙන් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් බව සහතික කෙරෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටවල නිෂ්පාදකයින්ට ඇඟලුම් සඳහා 0% තීරුබදුවලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව තියෙනවා. මේ වෙනස්කම් 2026 අවුරුද්දේ මුල් භාගය වෙද්දි ක්‍රියාත්මක වෙයි කියලා අපේක්ෂා කෙරෙනවා.
බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා අදහස්
ලංකාවට ලබා දෙන තීරු බදු සහනය ගැන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහත්මයා මෙහෙම කියනවා.
“මෙය ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට සහ එක්සත් රාජධානියේ පාරිභෝගිකයින් කියන දෙගොල්ලොම ලබපු ජයග්‍රහණයක්. එක්සත් රාජධානිය ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපොළ – ඒ වෙළඳාමෙන් 60% කට වඩා තියෙන්නේ ඇඟලුම් නිසා මෙහි නිෂ්පාදකයින් අපේ මේ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බව අපි දන්නවා. ඇඟලුම් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, පුළුල් පරාසයක භාණ්ඩ සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයේ භාවිත කරන්න ශ්‍රී ලංකාවට පුළුවන්. DCTS විසින් පිරිනමන මනාපයන්ගෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ක්‍රම ගැන තවදුරටත් ගවේෂණය කරන්න කියලා අපි අපනයනකරුවන්ව දිරිමත් කරනවා.”
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) ලේකම්, යොහාන් ලෝරන්ස් මහත්මයා කියනවා,
“එක්සත් රාජධානියේ වෙළඳ උපායමාර්ගය අපි සාදරයෙන් පිළිගන්නවා. යෝජනා ක්‍රමයේ භාවිතය වැඩි දියුණු කිරීම වෙනුවෙන් වන විසඳුම් සඳහා කටයුතු කිරීමේදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය එක්සත් රාජධානියේ රජය සමඟ ඉතා සමීපව කටයුතු කළා. ඇඟලුම් සඳහා, දැන් කලාපීය වශයෙන් වැඩි අමුද්‍රව්‍ය ලබා ගැනීමට සහ එක්සත් රාජධානියට තීරුබදු රහිත අපනයනය සඳහා සුදුසුකම් ලැබීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා. DCTS යටතේ එක්සත් රාජධානිය සමඟ අපි කරන වෙළඳාමට සැලකිව යුතු වෙනසක් ඇති කරාවි.”
අනාගත සම්බන්ධතා
මේ වෙනස්කම්වලට අමතරව, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට එක්සත් රාජධානියේ වෙළඳපොළට ප්‍රවේශ වීමට සහ විශේෂයෙන් කෘෂි ආහාර සහ ඇඟලුම් අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති ආනයන ප්‍රමිතීන් සපුරාලීමට උපකාර කිරීම සඳහා එක්සත් රාජධානිය ඉලක්කගත සහාය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ හවුල්කාරිත්වයෙන් ලබා දෙන වැඩසටහන් හරහායි. එක්සත් රාජධානියේ වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ ජාතික කාබනික ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමට සහාය වීම, පවතින ප්‍රතිලාභීන්ගේ සහතික කිරීමේ විගණන සම්පූර්ණ කිරීම සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පුහුණුව ලබා දීම දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, මේ වසර මුලදී ශ්‍රී ලංකාවේ SheTrades Commonwealth+ මධ්‍යස්ථානය පිහිටුවීමේ කටයුතුවලින් පස්සේ වෙළඳ ප්‍රතිපත්තිය තුළට ස්ත්‍රී – පුරුෂ භාවය ප්‍රධාන ධාරාවට ගෙන ඒම සඳහා ප්‍රතිපත්තිමය ධාරිතාව ගොඩනැගීම සඳහා එක්සත් රාජධානිය අඛණ්ඩව සහාය ලබා දෙනවා.
ඉදිරි දැක්ම
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් සඳහා දෙවන විශාලතම වෙළෙඳපොළ වන්නේ එක්සත් රාජධානියයි. එහි වාර්ෂික වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වන අතර ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ මහා බ්‍රිතාන්‍යයටයි. අපේ රටේ ඇඟලුම් කර්මාන්තය නිසා ඍජු හා වක්‍ර ජීවනෝපාය මාර්ග ඇති පිරිස මිලියනයකට වැඩියි. මේ නිසා මහා බ්‍රිතාන්‍යයෙන් ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට ලැබිලා තියෙන සහය කාලීනව ඉතාමත් වැඳගත්. ඒ වටිනාකම තවත් වැඩි වෙන්නේ ලංකාවේ ඇඟලුම්වලට ඇමෙරිකාවේ දොරගුළු වැසෙන තත්ත්වයත් එක්කයි. කිසියම් කර්මාන්තයක් වැඩිදුරටත් දියුණු කරගැනීමේදී ජාත්‍යන්තර වෙළඳාමේ සහ ජාත්‍යන්තර සම්බන්ධතාවල වැදගත්කම මෙයින් පැහැදිලි වෙනවා. ඒ වුණත්, අපි කිසියම් එක් රටක් මත විතරක් රඳා පවතින එක සුදුසු නෑ. ඒ වගේ තත්ත්වයන් නිසා තමයි ඇමෙරිකාවේ තීරු බදු වුණත් ලංකාවේ අපිට විශාල වශයෙන් දැනෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර වෙළදාම තවදුරටත් ගවේෂණය කරලා විභව වෙළඳපළවල් සොයා යාම තුළින් තරගකාරීත්වය වැඩිකර ගැනීමට තරගකාරී වෙළඳපළවල්වලට ප්‍රවේශ වීමට සහ පාරිභෝගික සහ නිෂ්පාදක සුබ සාධනය වැඩි කර ගැනීමට හැකියාවක් ලැබේවි.