‘Send them home’ සටන් පාඨයේ පසුබිම් කතාව මෙන්න –

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට පුරා පිහිටි සරණාගතයින් රැඳී සිටින හෝටල් අසල පැවති විරෝධතා, සුවිසල් පාලම් මත පමණක් නොව පහන් කණු මත පවා ජාතික ධජ දහස් ගණනක් ලෙලදීම, මහජන මතය දක්ෂිණාංශික දේශපාලනය දෙසට රැඩිකල් ලෙස ගමන් කරමින් සිටින බව මෑත කාලීන මත විමසුම් මගින් පෙනී යාම සහ වඩා ත් මෑතකදී 150,000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මධ්‍යම ලන්ඩනයේ පැවති සංක්‍රමණ විරෝධී පාගමන ආදී සියල්ල එක්සත් රාජධානියේ ගිම්හාන ඍතුව දේශපාලනික වශයෙන් උණුසුම් එකක් බවට පත් කළේ ය.

මෙම සිදුවීම්වල පරිමාණය සහ විශේෂයෙන් ම මතභේදාත්මක අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් නායකත්වය දෙන ලද නවතම විරෝධතාව, එක්සත් රාජධානිය තුළ අන්ත දක්ෂිණාංශික බලය පතුරුවමින් සිටින්නේ ද යන්න පිළිබඳ සාකච්ඡාව යළි මතු කර තිබේ.

පසුගිය වසර කිහිපය තුළ අන්ත දක්ෂිණාංශික දේශපාලනය යුරෝපීය භූ දේශපාලනයේ නියත ලක්ෂණයක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එම ලේබලය යටතේ පවතින පක්ෂ දැනට ඉතාලියේ සහ හංගේරියාවේ ආණ්ඩු මෙහෙයවමින්, ඔස්ට්‍රියාවේ, ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සභාග නිර්මාණය කර ගනිමින් ප්‍රංශය, ජර්මනිය, පෘතුගාලය සහ බෙල්ජියම තුළ විපක්ෂය තුළ ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගනිමින් සිටියි.

ජනතාවාදී දක්ෂිණාංශික දේශපාලනය තුළ වර්ධනයක් දැකීමට හැකි මීළඟ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රට එක්සත් රාජධානිය විය හැකි බවට මෑතකාලීන සිදුවීම් මගින් යෝජනා කළ හැකි ද?

ශක්තිය ප්‍රදර්ශනය කිරීම

වර්ගවාදයට එරෙහි Hope Not Hate නමැති පුණ්‍යායතනයට අනුව සැප්තැම්බර් 13 වන දා පැවැති Unite the Kingdom ලෙස හඳුන්වනු ලද රැලිය එක්සත් රාජධානියේ මෙතෙක් පැවැති විශාලතම අන්ත දක්ෂිණාංශික විරෝධතාවලින් එකක් වේ.

“Send them home” යන සටන් පාඨය සහ ජාතික ධජ රැසක් එහි දක්නට ලැබිණි. ඇතැම් විරෝධතාකරුවෝ මේ මස මුලදී ඝාතනයට ලක්වූ ඇමෙරිකානු කන්සර්වේටිව් ක්‍රියාකාරී චාලි කර්ක්ගේ ඡායාරූප අතැතිව සිටියහ. එහිදී විරෝධතාකරුවන් පොලිසිය සමග ගැටෙන අයුරු සහ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වත්මන් කම්කරු පක්ෂ ආණ්ඩුව ප්‍රතිස්ථාපනය කිරීමට ඉල්ලා සිටි එක්සත් ජනපද තාක්ෂණ කර්මාන්තයේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් ඇතුළු මතභේදාත්මක පුද්ගලයින්ගේ කතා ද දක්නට ලැබිණි.

අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රචණ්ඩ ක්‍රියා සහ සහ වෛරී ප්‍රකාශ හෙළා දැක තිබිණි. “අපේ ධජය බෙදීමේ සංකේතයක් ලෙස භාවිත කරන්න අපි කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ,” ඔහු පැවසුවේය.

බීබීසීය වෙත අදහස් දක්වමින් උපායමාර්ගික සංවාද ආයතනයේ සහ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රැඩිකල්කරණය පිළිබඳ විශේෂඥවරියක වන ජූලියා එබ්නර් පැවසුවේ, අන්ත දක්ෂිණාංශික අදහස් මේ වන විට එක්සත් රාජධානියේ ප්‍රධාන ධාරාවේ කතිකාවට ඇතුළු වී ඇති බව පෙනෙන්නට ඇති බව ය.

“දශකයකට කලින් ටොමී රොබින්සන් කියන්නේ ආන්තික චරිතයක්,” ඇය පැවසුවා ය. “දැන් ඔහු සාම්ප්‍රදායික අන්ත දක්ෂිණාංශිකයින් ඉක්මවා යන ප්‍රේක්ෂක පිරිසක් සිටින බලවත් හා බලගතු චරිතයක් බවට පත්ව තිබෙනවා.”

150,000ක් දක්වා ජනතාව එක් රැස් කර ගැනීමට සහ මස්ක් වැනි බලගතු පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට හැකි බව රොබින්සන් පෙන්වීම මෙම නවතම පාගමන අන්ත දක්ෂිණාංශිකයින්ගේ ශක්තිය පෙන්වීමක් බවට පත් කළ බව ඇය පැවසුවා ය.

ලොව පුරා විරෝධතා පිළිබඳ දත්ත සහ විශ්ලේෂණය සපයන ස්වාධීන ගැටුම් නිරීක්ෂකයෙකු වන ACLED සංවිධානයට අනුව පසුගිය වසරේදී එක්සත් රාජධානිය තුළ අන්ත දක්ෂිණාංශික සහ සංක්‍රමණ විරෝධී රැලි 180ක් පවත්වා තිබේ.

විශේෂයෙන් පසුගිය ගිම්හානයේදී වයඹදිග එංගලන්තයේ සවුත්පෝට්හි පැවති කැරලිවලින් අනතුරුව සංක්‍රමණ විරෝධී හැඟීම් ඉහළ ගොස් තිබේ. නර්තන පන්තියකදී ළමුන් තිදෙනෙකුට එල්ල වූ මාරාන්තික පිහි ඇනුමට සම්බන්ධ සැකකරු නීතිවිරෝධී සංක්‍රමණිකයෙකු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වැරදි තොරතුරු මගින් විරෝධතා අවුළුවා හැර තිබිණි.

රැඩිකල් අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීමේ ඇල්ගොරිතමවල ප්‍රවණතාව, වැරදි තොරතුරු සහ කුමන්ත්‍රණ න්‍යායන් කරුණු පදනම් කරගත් පුවත්පත් කලාවට වඩා වේගයෙන් පැතිරීමට ඉඩ සලසන බැවින්, අන්ත දක්ෂිණාංශික අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීමේ සමාජ මාධ්‍යවල කාර්යභාරය එබ්නර් අවධාරණය කරයි.

“සාම්ප්‍රදායික ප්‍රවෘත්ති මූලාශ්‍ර වෙනුවට බොහෝ දෙනෙකුට සමාජ මාධ්‍ය ආදේශකය බවට පත්වෙලා තිබෙනවා,” එබ්නර් පවසයි. “ඇල්ගොරිතම අපට ඉතා පක්ෂග්‍රාහී තොරතුරු පරිසරයක් සපයා ඇති අතර, එහිදී වඩාත් රැඩිකල් තොරතුරු මූලාශ්‍ර සහ වඩාත් රැඩිකල් පණිවිඩ වර්ධනය වෙනවා.”

ආගමන ගැටලු

ප්‍රධාන ධාරාවේ පක්ෂ කෙරෙහි ජනතාව තුළ පවතින කණස්සල්ල, සංක්‍රමණ සහ ආර්ථික ගැටලු පිළිබඳ ජනතාව අතර පවතින කතාබහ දැඩි වෙමින් පැවතීම වැනි සංකීර්ණ සාධක මිශ්‍රවීම අන්ත දක්ෂිණාංශික හැඟීම් ඉහළ යාමට හේතු වන බව විශේෂඥයින් එකඟ වන කරුණකි. කුඩා බෝට්ටු මගින් එක්සත් රාජධානියට පැමිණීම් ඉහළ යාම මෙම කථිකාව තුළ සැලකිය යුතු භූමිකාවක් ඉටු කරයි.

“අසමානතාවයේ ඉහළ යාමක් සහ ඇතැම් ස්ථානවල පොදු සේවා ක්‍රියාත්මක වීමේ පිරිහීමක් තියෙන බව මිනිස්සුන්ට පේනවා. වසර 10කින් එම තත්ත්වය තවත් නරක අතට හැරෙයි කියලා ඔවුන් බයයි,” ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ සංසන්දනාත්මක දේශපාලනය පිළිබඳ මහාචාර්ය ස්ටින් වෑන් කැසල් පවසයි.

“ආර්ථිකය ගැන අශුභවාදී ශුභසාධන ආරක්ෂා කිරීම සඳහා අපි සංක්‍රමණ නතර කළ යුතු බවයි,” ඔහු බීබීසීයට පැවසුවේය. අන්ත දක්ෂිණාංශිකයින්ගේ පණිවිඩය වෙන්නේ, රැකියා සහ රජයේ ශුභසාධන ආරක්ෂා කිරීම සඳහා අපි සංක්‍රමණ නතර කළ යුතුයි කියන එක,” ඔහු බීබීසීයට පැවසුවේය.

සරණාගතයින් සඳහා නවාතැන් පහසුකම් සපයන හෝටල් සම්බන්ධයෙන් ඇති වූ ගැටුම මෑතකදී එක්සත් රාජධානිය තුළ ප්‍රධාන මාතෘකා බවට පත්වූයේ ඒවායේ භාවිතය අභියෝගයට ලක් කරමින් ප්‍රාදේශීය පාලන ආයතන විසින් මෙහෙයවනු ලබන නීතිමය අරගල සහ ඒවායේ ආරක්ෂාව සහ පිරිවැය පිළිබඳව අවධානය දක්වන ප්‍රජාව සිදු කළ විරෝධතා සමග ය.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 ජූනි මාසයෙන් අවසන් වූ වසර තුළ එක්සත් රාජධානියේ සරණාගතභාවය අපේක්ෂා කළ මුළු සංඛ්‍යාව 111,000ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව 14%ක ඉහළයාමකි

“දේශපාලනඥයින්ට කියන්න පුළුවන්: ‘අපි ආගමන හෝ සරණාගතභාවය වඩා හොඳ ආකාරයකින් කළමනාකරණය කළ යුතුයි කියලා, නමුත් සෞඛ්‍ය සේවා අංශය සඳහා පුද්ගලයින් සිටීමට අපි සංක්‍රමණිකයින් බඳවා ගැනීමත් සිදු කළ යුතුයි.’ නමුත් පසුව ඉදිරිපත් කළ තර්කය තවදුරටත් ඉදිරිපත් කිරීම අසීරුයි,” මහාචාර්ය වෑන් කැසල් පවසයි.

අන්ත දක්ෂිණාංශික ප්‍රකාශවල ඉහළ යාමට හේතුව ආගමන සම්බන්ධයෙන් පවතින තර්ක පමණක් නොවන බව එබ්නර් පවසයි.

“එය ස්ත්‍රී පුරුෂභාවය සහ LGBTQ අයිතිවාසිකම්, දේශගුණික විපර්යාස ක්‍රියාමාර්ග සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යන මාතෘකා වටා පවතිනවා. අන්ත දක්ෂිණාංශිකයින්ට සැමවිට ම පවතින තත්ත්වයට සහ ඔවුන් බලය හසුරුවන ආයතන ලෙස හඳුන්වන දෙයට ප්‍රතිවිරුද්ධ පැත්ත ගන්නා විවිධ මාතෘකා රාශියක් තිබෙනවා,” ඇය පවසයි.

Reform UK පක්ෂයේ නැගීම

නයිජල් ෆරාජ්ගේ Reform UK පක්ෂයේ නැගීම රැඩිකල් දක්ෂිණාංශිකයින් රට තුළ බලපෑමක් එල්ල කරමින් සිටින්නේ ද යන්න පිළිබඳ විවාදයට තවත් ස්ථරයක් එක් කරයි.

ෆරාජ්, ටොමී රොබින්සන් සහ අන්ත දක්ෂිණාංශික ලේබලයට තමන් අයත් නොවන බව පෙන්වීමට උත්සහ කළ ද ඔහුගේ පක්ෂය සංක්‍රමණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් දරයි.

මත විමසුම්වලදී පක්ෂය පහසුවෙන් ඉදිරි පෙළ තුළ ස්ථාවරවීමට සමත් වී ඇති අතර මෙම වසරේ මැයි-ජූනි මාසවලදී පවත්වන ලද Ipsos මත විමසුමකින් පෙනී ගියේ 34%ක් ඔවුන්ට ඡන්දය දීමට අපේක්ෂාවෙන් පසුවන බවත් පාලක කම්කරු පක්ෂයට වඩා ලකුණු නවයක් ඉදිරියෙන් සිටින බවත් ය.

Reform පක්ෂයේ මැතිවරණ සාර්ථකත්වය – මෑත කාලීන අතුරු මැතිවරණ ජයග්‍රහණ සහ එංගලන්තයේ ප්‍රාදේශීය මැතිවරණවල විශාල ජයග්‍රහණ ඇතුළුව, ප්‍රධාන ධාරාවට විකල්ප සඳහා මහජන රුචිය වැඩෙන බව පෙන්නුම් කරයි.

“Reform පක්ෂයේ නැගීම උත්තේජනය කළ අනෙක් දේවල් වගේ ම සංක්‍රමණත් ඒකට හේතු වෙලා තියෙනවා,” ට්‍රැවර්ස් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ස්ථාපිත දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුළ තිබූ කලකිරීම ද ඊට හේතුවක් වූ බව ය.

“මම හිතන්නේ Reform පක්ෂය සඳහා ඡන්දය දෙන බොහෝ දෙනෙකුට සියවසක පමණ කාලයක් බ්‍රිතාන්‍ය දේශපාලනයේ ප්‍රමුඛ පක්ෂ වන කොන්සර්වේටිව් පක්ෂය සහ කම්කරු පක්ෂය එපා වී ඇති බව මෙම මත විමසුම්වලින් පෙනී යනවා,” ඔහු පවසයි.

“ඉතිං, ඒක එයාලට පාඩමක් උගන්වන්න ක්‍රමයක්. පවතින පද්ධතියට එරෙහිව යම් ආකාරයක කෝපයක්, මිනිස්සුන්ට දැනෙන්නේ එයාලව ඇහෙන්න යමක් කරන්න ඕන කියලා.”

අන්ත දක්ෂිණාංශික දේශපාලනය සාමාන්‍යකරණය

ප්‍රධාන ධාරාවේ පක්ෂ ඡන්ද දායකයින් නැවත දිනා ගැනීමේ අරමුණින් අන්ත දක්ෂිණාංශික ස්ථාවරයන් සහ පණිවිඩ වැඩි වැඩියෙන් වැළඳ ගන්නා බැවින්, වත්මන් වාතාවරණය අන්ත දක්ෂිණාංශික දේශපාලනය සාමාන්‍යකරණය කරන බව මහාචාර්ය වෑන් කැසල් සඳහන් කරයි.

නමුත් මෙම උපායමාර්ගය බොහෝ විට ආපසු හැරවිය නොහැකි බවට ඔහු අනතුරු අඟවයි.

“අන්ත දක්ෂිණාංශිකයින්ගේ තණතීරුවේ තරග කිරීමට උත්සහ කිරීම, සංක්‍රමණ සම්බන්ධයෙන් ඔවුන් වගේ දැඩි බව පෙන්වීමට උත්සහ කිරීම, ආගමන ප්‍රශ්නය දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළින් ම තබා ගැනීමක් පමණක් වන අතර, එය අවසානයේ රැඩිකල් දක්ෂිණාංශිකයින්ට ප්‍රතිලාභ ලබා දේවි,” යැයි ඔහු සඳහන් කරන්නේ, “ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයින්ට, බලයේ සිටින පුද්ගලයින්ට, රැඩිකල් දක්ෂිණාංශිකයින්ගේ දැඩි වාග් ස්වරූපය භාවිත කිරීමෙන් තොරව සංක්‍රමණ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීමට උත්සහ කළ හැකියි,” යනුවෙන් ද පවසමිනි.

අන්ත දක්ෂිණාංශිකයින්ට එරෙහිව සටන් කිරීම සඳහා තාර්කික ප්‍රකාශවලට වඩා වැඩි යමක් අවශ්‍ය බවත්, දුක්ගැනවිලිවලට සහය ලබා දෙන ආකාරය පිළිබඳ සියුම් අවබෝධයක් අවශ්‍ය බවටත් එබ්නර් එකඟ වෙයි.

“මෙම පුද්ගලයින් (අන්ත දක්ෂිණාංශයට සහය දක්වමින්) පැමිණෙන්නේ විවිධ පසුබිම්වලින්” ඇය පවසයි. “අපි ඔවුන්ගේ අපේක්ෂා සඳහා විසඳුම් සෙවිය යුතු වන්නේ රැඩිකල් ස්ථාවර භාවිත කිරීමෙන් තොරවයි.”

ඩිජිටල් පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙස ද ඇය ඉල්ලා සිටියි.

“තාක්ෂණික වේදිකා පාර්ශව වෙතින් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටීම අතිශයින් ම වැදගත්” ඇය පවසයි.

“වගකීම්සහගත ඩිජිටල් මාධ්‍ය භාවිතය සඳහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් රජයට බොහෝ දේ ක‍රන්න පුළුවන්. අපගේ අනන්‍යතාවන්ට, කණ්ඩායම් ක්‍රියාවලියට සහ සමස්තයක් වශයෙන් සමාජයට මෙය කරන්නේ කුමක් ද යන්න පිළිබඳව සැබවින් ම අවබෝධ කර ගැනීම කිරීම සඳහා මාර්ගගත ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත් යැයි මම සිතනවා.”

ආර්ථික වර්ධන යතුර

නමුත් එක්සත් රාජධානිය තුළ අන්ත දක්ෂිණාංශික නැගීම අඛණ්ඩව පැවතුණ හොත්? ප්‍රධාන ධාරාවේ බලවේග ස්ථාවරව පවතිනු ඇති ද?

එබ්නර් මූලික අවදානම් දෙකක් ඉස්මතු කරයි: එනම් දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කඩා වැටීම යි.

මහාචාර්ය ට්‍රැවර්ස් යෝජනා කරන්නේ ආර්ථික වර්ධනය රැඩිකල්වාදී දක්ෂිණාංශික දේශපාලනයේ නැගීමට එරෙහි වඩාත් ඵලදායී ප්‍රතිවිරෝධකය විය හැකි බව ය.

“එක ම සැබෑ ගැටලුව වන්නේ එක්සත් රාජධානිය තුළ ආර්ථික වර්ධනයක් නොමැති තරම්, නැත්නම් එහෙම වර්ධනයක් නැහැ. රජයට තවත් ණය ගන්න බැහැ, ඔවුන්ට ජනතාවගෙන් තවත් බදු අය කරන්නත් බැහැ, ඒවගේ ම ජනතාවට හැඟෙනවා ඔවුන්ගේ වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය අඩුවෙමින් යන බව” ඔහු පැවසුවේ ය.

“සැබෑ විසඳුම ඇත්තේ එතැනයි. සැබෑ දේශපාලන වෙනසක් සිදුවන්නේ ප්‍රාදේශීය මට්ටමින්,” ඔහු පැවසීය.

  • සෙලින් ගිරිට්
  • බීබීසී ලෝක සේවය