පුද්ගලික රෝහල්වල ‘ඔපරේෂන්’ කරන්නේ හොර දොස්තරලාද?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ රෝහල් පද්ධතිය මෙන්ම පුද්ගලික රෝහල් පද්ධතිය කෙරෙහිද නිසි නියාමනයක් ක්‍රියාත්මක විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් නියාමනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමන සභාවක් ඇති නමුත් එම සභාව දැඩි ලෙස අකාර්යක්ෂම සහ අක්‍රිය තත්ත්වය පවතින බවත් පුද්ගලික අංශය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට මෙම නියාමනය නොමැතිවීම නිසා දැඩි ලෙස පීඩාවට පත්වන බවද පෙන්වා දෙයි.

එකම පුද්ගලික රෝහල තුළ විවිධ මිල ගණන් පැවතීම, එකම වෛද්‍ය පරීක්ෂණය සඳහා විවිධ පුද්ගලික රෝහල් තුළ විවිධ මිල ගණන් පැවතීම, රෝගීන්ගේ බිල්පත් සම්බන්ධව ගැටලු පැවතීම, රෝහල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය ආරක්ෂාව සහ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් පැවතිය යුතු අවම සෞඛ්‍ය පහසුකම් පවා ඇතැම් පුද්ගලික රෝහල් තුළ නොමැති වීම, සුදුසුකම් නැති වෛද්‍යවරුන් හෙද හිටියන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය කිරීම ඇතුළු ගැටලු රැසක් මේ වන විට ඉස්මතුව පවතින බවද ඔහු පෙන්වා දෙයි.

ඇතැම් පුද්ගලික රෝහල් තුළ ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සිදුකරන නමුත් රුධිර බැංකු හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා දැඩිසත්කාර ඒකක පහසුකම් හෝ අවශ්‍ය කරන මූලික ශල්‍ය උපකරණ හෝ රසායනාගාර උපකරණ හෝ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

පසුගියදා ගාල්ල ප්‍රදේශයේ හිරිපුර හරස් පාර ආසන්න පුද්ගලික රෝහලක සිදු වූ කාන්තා මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බවත් අවම පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික රෝහල් තුළ සිදු කරන ශල්‍යකර්ම නිසා රෝගීන්ට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

පුද්ගලික රෝහල සඳහා රෝගයකු ඇතුළත් වීමේදී අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ වගකීම අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වන නමුත් බොහෝ විට ඇතැම් සෞඛ්‍ය පුරුද්දකයන් නිසි පරිදි රෝගියාගේ පූර්ව සහ ශල්‍යකාර්මයෙන් පසුව වගකීම් බාර ගැනීම් කටයුතුවලින් මගහැර සිටීම නිසා එකම රෝගය සඳහා වෛද්‍යවරුන් ගණනාවක් වෙතට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට රෝගීන්ට සිදුවන බවද වැඩිදුරටත් පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලික රෝහල් නියාමන කටයුතු විවිධ පාර්ශ්වවල බලපෑම මත කඩාල වී පවතින නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එහි වගකිවයුතු බලධාරියා වන බැවින් මීට වඩා වගකීමකින් යුක්තව නව රජය යටතේ හෝ කටයුතු කරනු ඇතැයිද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.