ඇමෙරිකාව වෙනිසියුලාවට පහර දුන්නේ ඇයි?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෙනිසියුලාවට එල්ල කරන ලද මහා පරිමාණ ප්‍රහාරවලින් අනතුරුව එක්සත් ජනපද හමුදා වෙනිසියුලා නායක නිකොලස් මදුරෝ අල්ලා ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන ජනාධිපති ආර්යා වන ශීලියා ෆ්ලෝරස් රටින් පිටතට ගෙන ගොස් ඇති බව එක්සත් ජනපද ජනාධිපතිවරයා සමාජ මාධ්‍යවල සඳහන් කර තිබිණි. ඔවුන් මේ වන විට ඇමෙරිකාවේ මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

ගිලෙන් මැක්ස්වෙල් ඇතුළු ඉහළ පෙළේ සිරකරුවන් රඳවා තැබීම සම්බන්ධයෙන් මෙම ස්ථානය ප්‍රසිද්ධ ය.

සෙනසුරාදා අලුයම ඔහු එක්සත් ජනපදයේ හමුදා කඳවුරකට ගෙන ආවේ ය. පසුව බලධාරීන් ඔහුව නිව්යෝර්ක්හි එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන කාර්යාලයට ගෙන ගියේය.

ඔහුට මත්ද්‍රව්‍ය සහ ආයුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසුව බෘක්ලින්හි රැඳවුම් ස්ථානයකට මාරු කරන ලදී. ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමකට නායකත්වය දී ඇති බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු ඉදිරියේ නිශ්චිත නොවන දිනයකදී නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ අතර, ධවල මන්දිර ක්ෂණික ප්‍රතිචාර ගිණුම විසින් මැන්හැටන්හි මත්ද්‍රව්‍ය මර්දන පරිපාලන මූලස්ථානයේදී, ඊට පෙර වීඩියෝ කළ බවට බවට වාර්තා වූ වීඩියෝවක් නැවත පළ කර ඇති අතර, එහි පෙන්වන්නේ නිකොලස් මදුරෝ “පරෙස්සමින් ඇවිද ගිය” බව ය.

මදුරෝ බලයෙන් පහ කර තිබේ ද?

මේ දක්වා අපට ලැබී ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයකි. ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය සටහනෙන් අනාවරණ කර ඇත්තේ මෙම තොරතුරු ය.:

  • එක්සත් ජනපදය “වෙනිසියුලාවට සහ එහි නායකයාට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සාර්ථකව එල්ල කර ඇත,” යනුවෙනි.
  • මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන ඇති අතර රටින් පිටතට රැගෙන ගොස් තිබේ.

මදුරෝ සිටින්නේ කොහේද යන්න හෝ ඔහු තවමත් ජීවතුන් අතර සිටින්නේ ද යන්න තමන් නොදන්නා බව වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස් පවසා තිබීමත් සමග මදුරෝ සැබවින් ම ධුරයෙන් නෙරපා හැර ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත්, වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා සහ රොද්‍රිගස් තවමත් රට තුළ සිටින අතර, රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටිමින් මදුරෝගේ රජයේ ප්‍රධාන සාමාජිකයෝ බලයේ සිටින බව පෙන්නුම් කරති.

මෙහෙයුම ක්‍රියාත්මක වූයේ කෙසේ ද?

එක්සත් ජනපද මෙහෙයුම සිදු කෙරුණු ආකාරය පිළිබඳව මේ දක්වා විස්තර පවතින්නේ අතලොස්සකි.

වෙනිසියුලාව තුළ සිට ලබාගත් වීඩියෝ දර්ශනවල විශාල පිපිරීම් පෙන්නුම් කරන අතර අගනුවර වන කරාකාස්හි පදිංචිකරුවන්ට ගුවන් යානා පියාසර කරන සහ පිපිරීම් ශබ්ද ඇසෙන බව වාර්තා කර තිබිණි.

අගනුවර විවිධ ප්‍රදේශවලින් දුමාරයක් නැගෙන ආකාරය ද දැකගත හැකි වූ අතර හෙලිකොප්ටර් යානා පෙළ පියාසර කරන අයුරු දැකගත හැකි විය.

හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම ප්‍රහාර සඳහා නියෝග කර ඇති බව එක්සත් ජනපද නිලධාරීහු බීබීසීයේ එක්සත් ජනපද හවුල්කරුවෙකු වන සීබීඑස් පුවත් සේවය වෙත පැවසූහ.

එමෙන් ම, එක්සත් ජනපද හමුදාවේ ඉහළ ම ත්‍රස්ත විරෝධී ඒකකය වන ඩෙල්ටා බලකාය විසින් නිකොලස් මදුරෝ අල්ලාගෙන ඇති බව ද ඔවුහු CBS පුවත් සේවය වෙත පැවසූහ.

කරාකාස් ප්‍රහාරයට ලක්ව ඇති බව වෙනිසියුලානු රජය තහවුරු කළ අතර මිරැන්ඩා, ලා ගුවයිරා සහ අරගුවා ප්‍රාන්තවලට ද ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු කර තිබේ.

මදුරෝ බලයට පැමිණියේ කෙසේ ද?

වාමාංශික ජනාධිපති හියුගෝ චාවේස් සහ ඔහුගේ වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයේ (PSUV) නායකත්වය යටතේ නිකොලස් මදුරෝ නැගී ආවේ ය.

හිටපු බස් රියදුරෙකු සහ වෘත්තීය සමිති නායකයෙකු වන මදුරෝ, චාවේස්ගෙන් පසු බලයට පත් වූ අතර 2013 වසරේ සිට ජනාධිපති ධුරය දැරුවේ ය.

චාවේස් සහ මදුරෝ රට පාලනය කළ වසර 26 තුළ, ඔවුන්ගේ පක්ෂය ප්‍රධාන ආයතනවල පාලනය සියතට ගෙන ඇත. මේවාට ජාතික සභාව, අධිකරණ පද්ධතියේ වැඩි කොටසක් සහ මැතිවරණ කවුන්සිලය ඇතුළත් වේ.

2024 වසරේදී, මදුරෝ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී, විපක්ෂය විසින් ගණනය කරන ලද ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී ගියේ එහි අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලේස් අතිවිශාල බහුතරයකින් ජයග්‍රහණය කර ඇති බවයි.

ප්‍රධාන විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ වෙනුවට ගොන්සාලේස් පත් කර තිබුණේ ඇයට මැතිවරණයට තරග කිරීම තහනම් කිරිමෙන් අනතුරුව ය.

“ඒකාධිපතිවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය දක්වා සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇය කළ අරගලය,” වෙනුවෙන් ඇයට ඔක්තෝම්බර් මාසයේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලදී.

මාස ගණනක් සැඟවී සිටීමෙන් පසු මචාඩෝ සංචාරක තහනමක් නොතකා හැර සම්මානය ලබා ගැනීම සඳහා දෙසැම්බර් මාසයේදී ඔස්ලෝ වෙත ගියා ය.

ඇය වෙනිසියුලාවට නැවත පැමිණීමට සැලසුම් කර ඇති බවත්, එය ඇයව “පලාගිය” ලෙස ප්‍රකාශයට පත් කළ වෙනිසියුලා බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ අවදානමට ඇද දමන බවත් ඇය පැවසුවා ය.

ට්‍රම්ප් වෙනිසියුලාව ඉලක්ක කර ඇත්තේ ඇයි?

වෙනිසියුලා සංක්‍රමණිකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්සත් ජනපදයට පැමිණීම සම්බන්ධයෙන් ට්‍රම්ප් නිකොලස් මදුරෝට දොස් පවරයි.

2013 සිට රටේ පැවැති ආර්ථික අර්බුදය සහ මර්දනය හේතුවෙන් පලා ගොස් ඇති බවට ගණන් බලා ඇති මිලියන අටකට ආසන්න වෙනිසියුලා ජාතිකයන් පිරිසක් අතර ඔවුන් සිටිති.

“බන්ධනාගාර සහ මානසික සෞඛ්‍ය ආයතන හිස් කිරීම” සහ සිරකරුවන්ට එක්සත් ජනපදයට යාමට “බල කිරීම” සම්බන්ධයෙන් සාක්ෂි නොදක්වා ට්‍රම්ප් මදුරොට චෝදනා කර තිබේ.

විශේෂයෙන් ෆෙන්ටැනයිල් සහ කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය එක්සත් ජනපදයට ගලා ඒම නැවැත්වීම කෙරෙහි ද ට්‍රම්ප් අවධානය යොමු කර ඇත.

ඔහු වෙනිසියුලානු අපරාධ කණ්ඩායම් දෙකක් වන ට්‍රෙන් ඩි අරගුවා සහ කාටල් ඩි ලොස් සෝල්ස් විදේශීය ත්‍රස්ත සංවිධාන (FTO) ලෙස නම් කර ඇත. කාටල් ඩි ලොස් සෝල්ස් මදුරෝ විසින් ම මෙහෙයවනු ලබන බව ද ඔහු කියා තිබේ.

විශ්ලේෂකයින් පවසන්නේ කාටල් ඩි ලොස් සෝල්ස් යනු පැහැදිලි ව්‍යුහයක් සහිත සංවිධානාත්මක කණ්ඩායමක් නොවන බවයි. ඒ වෙනුවට, වෙනිසියුලාව හරහා කොකේන් ගමන් කිරීමට ඉඩ දෙන දූෂිත නිලධාරීන් විස්තර කිරීමට මෙම යෙදුම භාවිතා වේ.

මදුරෝ අල්ලා ගැනීමට ලබා දෙන තොරතුරු සඳහා ත්‍යාගය ද ට්‍රම්ප් විසින් වැඩි කර තිබිණි. මදුරෝ රජය විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලේබල් කිරීමේ සැලසුම් ඔහු නිවේදනය කර තිබේ.

මදුරෝ බෙදා හැරීමේ ජාලයක නායකයෙකු වන බවට වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, එක්සත් ජනපදය සිය “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” නිදහසට කරුණක් ලෙස භාවිතා කරමින්, ඔවුන් බලයෙන් නෙරපා වෙනිසියුලාවේ දැවැන්ත තෙල් සංචිත අත්පත් කර ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබේ.

වෙනිසියුලාවෙන් එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ගලා එනවා ද?

ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරමේ දී වෙනිසියුලාව සුළු ක්‍රීඩකයෙකු බව මත්ද්‍රව්‍ය විරෝධී විශේෂඥයෝ පවසති. එය ප්‍රධාන වශයෙන් අතරමැදි රටක් ලෙස ක්‍රියා කරන අතර, වෙනත් ස්ථානවල නිපදවන මත්ද්‍රව්‍ය ඒ හරහා ගමන් කිරීමට ඉඩ සලසයි.

එහි අසල්වැසි කොලොම්බියාව ලොව විශාලතම කොකේන් නිෂ්පාදකයා වන නමුත් එයින් වැඩි ප්‍රමාණයක් වෙනිසියුලාව හරහා නොව වෙනත් මාර්ගවලින් එක්සත් ජනපදයට ඇතුළු වන බව සැලකෙයි.

2020 සිට එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන කාර්යාලයේ (DEA) වාර්තාවකට අනුව, එක්සත් ජනපදයට ළඟා වන කොකේන් වලින් හතරෙන් තුනක් පමණ පැසිෆික් සාගර කලාපය හරහා ප්‍රවාහනය කරනු ලබන බවට ඇස්තමේන්තු කර ඇති අතර, කැරිබියන් මුහුදු කලාපය ඔස්සේ වේගවත් බෝට්ටු හරහා පැමිණෙන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.

ඇමරිකා එක්සත් ජනපදය කලින් ම එල්ල කර ඇති ප්‍රහාරවලින් බොහොමයක් කැරිබියන් දූපත් තුළ සිදු වූ අතර, මෑත කාලීන ප්‍රහාරවලදී පැසිෆික් කලාපය කෙරෙහි අවධානය යොමු කර ඇත.

සැප්තැම්බර් මාසයේදී ට්‍රම්ප් ඇමරිකානු හමුදා නායකයින්ට පැවසුවේ ඉලක්ක කරගත් බෝට්ටු “බොහෝ විට ෆෙන්ටනල් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති කුඩු බෑග් වලින් ගොඩගැසී ඇති,” බවයි.

ෆෙන්ටනල් යනු හෙරොයින් වලට වඩා 50 ගුණයකින් ප්‍රබල කෘතිම ඖෂධයකි. එය එක්සත් ජනපදයේ ඔපියොයිඩ් අධික මාත්‍රාවෙන් සිදුවන මරණ සඳහා ප්‍රධාන හේතුව බවට පත්ව ඇත.

දෙසැම්බර් 15 වන දින ට්‍රම්ප් ෆෙන්ටනල් “මහා විනාශයේ අවියක්” ලෙස නම් කරමින් විධායක නියෝගයකට අත්සන් තැබූ අතර එය “මත්ද්‍රව්‍යයකට වඩා රසායනික අවියකට සමීප” බව තර්ක කළේ ය.

කෙසේ වෙතත්, ෆෙන්ටනල් ප්‍රධාන වශයෙන් මෙක්සිකෝවේ නිපදවන අතර එහි දකුණු දේශසීමාව ඔස්සේ ගොඩබිම හරහා පමණක් එක්සත් ජනපදයට ළඟා වේ.

මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ 2025 ජාතික මත්ද්‍රව්‍ය තර්ජන තක්සේරුවේදී, බාහිරව එක්සත් ජනපදයට හොර රහසේ ගෙන යන ෆෙන්ටනල් ගෙන එන රටක් ලෙස වෙනිසියුලාව සඳහන් කර නොමැත.

මේ දක්වා සිදුවූයේ කුමක් ද?

පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භ කළ දා සිට මදුරෝ රජයට පීඩනයක් එල්ල වී තිබේ.

පළමුව, ට්‍රම්ප් පරිපාලනය මදුරෝ අල්ලා ගැනීමට හේතු වන තොරතුරු සඳහා ලබා දෙන ත්‍යාගය දෙගුණ කළේ ය.

සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපද හමුදා දකුණු ඇමෙරිකාවේ සිට එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවට චෝදනා කරන ලද යාත්‍රා ඉලක්ක කිරීම ආරම්භ කළේ ය.

කැරිබියන් සහ පැසිෆික් කලාපයේ යාත්‍රා කළ එවැනි යාත්‍රාවලට ප්‍රහාර 30කට වඩා එල්ල කර ඇති අතර, එමගින් පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

ට්‍රම්ප් පරිපාලනය තර්ක කරන්නේ, එක්සත් ජනපදයට එරෙහිව අක්‍රමවත් යුද්ධයක් සිදු කළ බවට චෝදනා කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ජාත්‍යන්තර නොවන සන්නද්ධ ගැටුමකට තමන් සම්බන්ධ වී ඇති බව යි.

නීති විශේෂඥයින් පවසන්නේ මෙම ප්‍රහාර “නීත්‍යානුකූල මිලිටරි ඉලක්කලට” ව එරෙහිව නොවන බව යි. සැප්තැම්බර් 02 වන දින එල්ල කළ පළමු ප්‍රහාරය සියුම් ලෙස නිරීක්ෂණයට ලක් වී ඇත්තේ, ප්‍රහාර එකක් නොව දෙකක් එල්ල වීම සහ, පළමු ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය දෙවන ප්‍රහාරයේදී මිය ගිය බැවිනි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු ප්‍රධාන අභිචෝදකයෙක් බීබීසී පුවත් සේවයට පැවසුවේ එක්සත් ජනපද හමුදා මෙහෙයුම සාමාන්‍යයෙන් සාම කාලය තුළ සිවිල් වැසියන්ට එරෙහිව සැලසුම් සහගතව, ක්‍රමානුකූලව එල්ල කළ ප්‍රහාරයක් ලෙස වර්ගීකරණය කර ඇති බව යි.

ඊට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය පැවසුවේ, “අපේ වෙරළට වස ගෙන ඒමට උත්සාහ කරන… ඇමෙරිකානු ජීවිත විනාශ කරන,” කාටල්වරුන්ගෙන් එක්සත් ජනපදය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ ගැටුම් නීතිවලට අනුකූලව ක්‍රියා කළ බවයි.

ඔක්තෝබර් මාසයේදී ට්‍රම්ප් පැවසුවේ වෙනිසියුලාව තුළ රහසිගත මෙහෙයුම් සිදු කිරීමට තමන් CIA සංවිධානයට බලය ලබා දුන් බවයි.

ඔහු “මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදීන්” ලෙස විස්තර කළ පිරිසට එරෙහිව ගොඩබිමින් ප්‍රහාර එල්ල කරන බවට ද තර්ජනය කළේ ය.

එවැනි ප්‍රහාරවලින් පළමුවැන්න දෙසැම්බර් 24 වන දින සිදු කළ බව ඔහු පැවසූ නමුත් විස්තර සුළු ප්‍රමාණයක් ලබා දුන් අතර එය මත්ද්‍රව්‍ය පටවන බෝට්ටුවල “තටාකාංගන ප්‍රදේශයක්” ඉලක්ක කර ගත් බව පමණක් ප්‍රකාශ කළේ ය.

ට්‍රම්ප් නැවත නැවතත් පැවසුවේ මදුරෝ “ඇමෙරිකා එක්සත් ජනපදයේ මිතුරෙකු නොවන” බව සහ “බලයෙන් ඉවත්විම ඔහුට ගුණදායක” බව ය.

වෙනිසියුලාවට ඇතුළු වන සහ පිටවන සම්බාධකවලට ලක්වූ සියලු ම තෙල් ප්‍රවාහන නෞකා සඳහා, “සම්පූර්ණ නාවික අවහිරයක්” ප්‍රකාශයට පත් කිරීමෙන් ඔහු මදුරෝ මත එල්ල කරන මූල්‍ය පීඩනය වැඩි කළේ ය. මදුරෝ රජයට විදේශ ආදායම් හිමිවන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ තෙල් ය.

ඇමෙරිකා එක්සත් ජනපදය කැරිබියන් දූපත්වල විශාල හමුදා බලකායක් ද යොදවා ඇති අතර, එහි ප්‍රකාශිත අරමුණ වන්නේ එක්සත් ජනපදයට ෆෙන්ටනල් සහ කොකේන් ගලායාම නැවැත්වීම යි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ඔවුන් චෝදනා කරන යාත්‍රා ඉලක්ක කර ගැනීම මෙන් ම, එක්සත් ජනපද නාවික අවහිරයේදී ද මෙම බලකාය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

කැරිබියන් දූපත් වෙත එක්සත් ජනපදය යොදවා ඇති හමුදාවේ විශාලත්වය කොපමණ ද?

වෙනිසියුලාවේ වෙරළට ආසන්නව තෙල් ප්‍රවාහන නෞකාවක් එක්සත් ජනපදය විසින් අල්ලා ගැනීමේදී යූඑස්එස් ජෙරල්ඩ් ෆෝඩ් (එක්සත් ජනපද නාවික හමුදාවේ විශාල නෞකාවක්) වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය.

එක්සත් ජනපදය (කැරිබියන් දූපත් වෙත භටයින් 15,000ක් සහ නැව් සහ ගුවන් යානා කිහිපයක් යවා ඇත. මේවාට ගුවන් යානා රැගෙන යන විශාල නැව්, මිසයිල සහිත යුද නැව් සහ සොල්දාදුවන් ගොඩබිමට රැගෙන යා හැකි නැව් ඇතුළත් වේ.

ඇමෙරිකානු නැව් සමූහය අතර ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන යූඑස්එස් ජෙරල්ඩ් ෆෝඩ් ද වේ.

දෙසැම්බර් 10 වන දින වෙනිසියුලාවෙන් ඔබ්බට ‍යාත්‍රා කළ තෙල් නෞකාවක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගැනීමට පෙර ඇමෙරිකානු හෙලිකොප්ටර් යානා ජෙරල්ඩ් ෆෝඩ් නෞකාවේ සිට ගුවන් ගත වූ බව වාර්තා වේ.

එක්සත් ජනපදය පැවසුවේ මෙම අල්ලා ගත් නෞකාව “වෙනිසියුලාවෙන් සහ ඉරානයෙන් සම්බාධකවලට ලක්වූ තෙල් ප්‍රවාහනය සඳහා භාවිතා කර ඇති” බව යි. වෙනිසුවෙලාව මෙම ක්‍රියාව “ජාත්‍යන්තර මුහුදු කොල්ලකෑම්” ක්‍රියාවක් ලෙස විස්තර කළේ ය.

එතැන් සිට, එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් වූ මුහුදේ දී තවත් ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් ඉලක්ක කර ගෙන ඇත.

වෙනිසියුලාව කොපමණ තෙල් ප්‍රමාණයක් අපනයනය කරන්නේ ද? ඒවා මිලදී ගන්නේ කවු ද?

එක්සත් ජනපදය විසින් වෙනිසියුලානු වෙරළ තීරයට ඔබ්බෙන් පළමු ඉන්ධන ප්‍රවාහන නෞකාව අල්ලා ගැනීමෙන් පසු ට්‍රම්ප් කළ ප්‍රකාශයක් පෙන්වා දෙමින්, වෙනිසියුලාවේ තෙල් සම්පත එක්සත් ජනපදයට පාලනය කර ගත හැකි වන පරිදි ට්‍රම්ප් පරිපාලනය තමා බලයෙන් පහ කිරීමට උත්සාහ කරන බවට මදුරෝ දිගු කලක සිට චෝදනා කර ඇත.

නෞකාවට සහ තෙල් සඳහා කුමක් සිදුවේදැයි වාර්තාකරුවන් විසින් ප්‍රශ්න කළ විට, ඔහු පැවසුවේ “අපි තෙල් ටික තියාගන්නවා කියලා මම හිතනවා,” යනුවෙන් ය.

කෙසේ වෙතත්, මදුරෝගේ රජයට එරෙහි පියවර, රටේ භාවිතයට නොගත් සංචිත වෙත ප්‍රවේශය ලබා ගැනීමේ උත්සාහයක් බවට වෙනිසියුලාවෙන් එල්ල කරන චෝදනා එක්සත් ජනපද නිලධාරීන් මීට පෙර ප්‍රතික්ෂේප කර ඇත.

ලොව විශාලතම ඇස්තමේන්තු කරන ලද බොරතෙල් සංචිතය වෙනිසියුලාව සතුව ඇති අතර තෙල් අංශයෙන් ලැබෙන ලාභය එහි රජයේ අයවැයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා අරමුදල් සපයයි.

කෙසේ වෙතත් වෙනිසියුලාවේ අපනයනවලට, සම්බාධක, ආයෝජන නොමැතිකම සහ රටේ රජය සතු තෙල් සමාගමේ දුර්වල කළමනාකරණය බලපා ඇත.

2023 දී වෙනිසුවෙලාව නිෂ්පාදනය කළේ ගෝලීය බොරතෙල් ප්‍රමාණයෙන් 0.8% ක් පමණක් බව එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) පවසයි.

ඔවුන් දැනට දිනකට බැරල් 900,000 ක් පමණ අපනයනය කරන අතර මේ දක්වා චීනය එහි විශාලතම ගැණුම්කරු වේ.

වෙනිසියුලාව දැන් පාලනය කරන්නේ කවුද?

මේ අතර, කරාකස්හි, වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මදුරෝගේ උප ජනාධිපති ලෙස කටයුතු කර ඇති ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්කාලීන ජනාධිපති ධුරය භාර ගත යුතු බවට තීන්දු කර තිබේ.

රොයිටර් පුවත් සේවයට අනුව, “පරිපාලන අඛණ්ඩතාව සහ ජාතියේ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා” රොඩ්‍රිගස් එම තනතුරට පත් කිරීම වැදගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත.

වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍ය ව්ලැදිමීර් පද්‍රිනෝ පවසා ඇත්තේ සන්නද්ධ හමුදා රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරනු ඇති බව යි.

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල වූයේ එක්සත් ජනපදය මදුරෝ රජයට පීඩනය වැඩි කිරීමෙන් පසුව ය. ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ [වෙනිසියුලා] රජය විශාල වශයෙන් මත්ද්‍රව්‍ය සහ කල්ලි සාමාජිකයින් එක්සත් ජනපදයට යැවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව යි.